ක්ලේප්ටෝක්‍රසි, ප්ලුටෝක්‍රසි සමග ඇති ශ්‍රී ලාංකීය අනන්‍යතාවය

ක්ලේප්ටෝක්‍රසි (Kleptocracy) හෙවත් දේශපාලක සොරකම නොඑසේනම් සොරුන් විසින් පාලනය කිරීම (Ruling by Thieves) යනු කුමක්ද?

ක්ලෙප්ටෝක්‍රසි යන වචනය පුරාණ ග්‍රීක වචනයක් වන “ක්ලෙප්ටෝ” යන්නෙන් බිඳී ආ වචනයකි. “ක්ලෙප්ටෝ” (Klepto) යන්නෙන් “සොරකම” අදහස් වන අතර “ක්‍රසි” (Cracy) යන්නෙන් “පාලනය” අදහස් වේ. ක්ලෙප්ටෝක්‍රසි යනු “සොරුන්ගේ පාලනය” ලෙස අර්ථ දැක්විය හැකි අතර නායකයින් තම ජාතියේ ධනය හා සම්පත් සොරකම් කිරීමට බලය වැරදි ලෙස භාවිතා කිරීම, එසේත් නැතිනම් දුප්පත් රටවල ජාතික භාණ්ඩාගාරවලින් හෝ රටේ සම්පත්වලින් ඩොලර් මිලියන හෝ බිලියන ගණනක් කොල්ලකන විට සිදුවන නිශ්චිත දූෂණය විස්තර කරයි. බොහෝ විට, එම මුදල් වියදම් කරන්නේ ධනවත් රටවල වත්කම් මිලදී ගැනීමට හෝ එම රටවල තැන්පත් කිරීමටයි. තවද ඉතා මෑතක් වන තුරුම, මෙම අපිරිසිදු මුදල් ගලායාම සම්බන්ධයෙන් කිසිවක් කිරීමට පොහොසත් රටවලට සදාචාරාත්මක හෝ නීතිමය බැඳීමක් නොතිබුණි.

ප්ලුටෝක්‍රසි (Plutocracy) යනු සෘජුව හෝ වක්‍රව ධනවතුන් විසින් පමණක් පාලනය කිරීමයි. ග්‍රීක වචනයක් වන “Ploutos” ධනය අදහස් වන අතර “Kratos” යන්න බලය හෝ පාලනය ලෙස අදහස් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුල ශ්‍රී ලංකාව වැනි රටවල බොහෝවිට පාලන තන්ත්‍රය හොබවන්නේ ධනවතුන්ය. එයට ප්‍රධාන හේතුව වන්නේ මැතිවරණ සදහා අති විශාල මුදලක් වියදම් කිරීමට සිදු වීමයි. බොහෝවිට එම මුදල් උපාය ගන්නේ ක්ලේප්ටෝක්‍රසිකරණය තුලිනි. ධනවතුන් හෝ ව්‍යාපාරිකයින් පාලන තන්ත්‍රය හෙබවීම නිසා සිදු වන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා තීරණ ගැනීම ධනවතුන්ගේ අභිවෘද්ධිය සදහාම පමණක් වීමයි. එවැනි ප්‍රතිපත්ති හෝ තීරණ ගැනීම් ධනවතුන්ගේ අවශ්‍යතා සඳහා අනුග්‍රහය දැක්වීමක් ලෙස කිසිවිටෙකත් ප්‍රදර්ශනය නොකෙරේන අතර වෙනත් නීත්‍යානුකූල රාජ්‍ය ප්‍රතිපත්ති හෝ සුභසාධන ඉලක්ක ලෙස පෙනීමට ඉඩ සලසා වාසි සහගත තත්ත්වයන් අහඹු ප්‍රතිඵලයක් ලෙස පෙනෙන්නට සලස්වයි. එවැනි වාසි සහගත තත්වයන් සාධාරණීකරණය කිරීම සදහා පරිසරය ආරක්ෂා කිරීමේ සිට ජාතික ආරක්ෂාව දක්වා හෝ මහජන සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම වැනි වෙනත් සුභසාධන ක්‍රියාවලියන් ලෙස හුවා දැක්විය හැකිය.

ශ්‍රී ලංකාව වැනි බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝවිට නාමිකව ප්‍රජාතන්ත්‍රවාදී වන අතර ප්‍රායෝගිකව, තමුන්ගේ අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා හෝ තම බලය හෝ තනතුර රඳවා ගැනීම සදහා හෝ තම පැලැන්තියේ ආරක්ෂාව සදහා අල්ලස් ලබා දීම, නීතිමය රාමු වෙනස් කිරීම හෝ නීතියේ ක්‍රියාත්මක වීම කඩාකප්පල් කිරීම සිදු වනු බහුලව දැකිය හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජනගහනයෙන් සාපේක්ෂ වශයෙන් කුඩා ප්‍රතිශතයක්, ධනයෙන් බහුතරයකට ප්‍රවේශ වීම සහ ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රයේ අණ දෙන ඉහළ මට්ටම් පාලනය කිරීම, මහජන මතය සහ මහජන ප්‍රතිපත්ති යන දෙකම තමන්ගේ අවශ්‍යතා අනුව හැඩගස්වා ගැනීම සහ එම හැඩගස්සා ගැනීම සාධාරණිකරණය කිරීම සදහා සන්නිවේදන හෝ මාධ්‍ය භාවිතය මගින් කෙමෙන් කෙමෙන් මහජන මතයට බලපෑම් කිරීම හෝ වෙනස් කිරීම සිදු කරනු ලැබේ.

ක්ලෙප්ටෝක්‍රසි හදුනාගන්නේ කෙසේද?

ස්වාභාවික සම්පත්වලින් පොහොසත් අප වැනි රටක් ගැන සිතන්න. රාජ්‍ය ව්යවසාය ප්‍රතිසංස්කරණ හෝ පුද්ගලීකරණ හෝ ප්‍රතිවිහුහගත ස්වරුපයෙන් මහජනයා සතු සම්පත් විකිණීමේදී, එහි සම්පත් සූරාකෑමට රජයේ කොන්ත්‍රාත්තු සඳහා බහුජාතික සමාගම් එකිනෙකා සමඟ තරඟ කරන අතර, වසර ගණනාවක් ගත වන විට, විශාල මුදල් ප්‍රමාණයක් රාජ්‍ය භාණ්ඩාගාරයට ගලා ඒමට පටන් ගනී. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉතා ඉහල යයි. එහෙත් අද්භූත ලෙස, ජනතාව දිගටම දරිද්‍රතාවයේ ජීවත් වේ. රාජ්‍ය සේවා නොපවතියි. බෙහෙත් හිඟවෙයි. මන්දපෝෂණය සාමාන්‍ය දෙයක් බවට පත් වේ. සංවර්ධන ව්‍යාපෘතිවල තත්වය බාල වෙයි. නඩත්තු වියදම් ඉහල යෑම සහ නිතර බිඳ වැටීම් සහ අඩපන වීම සිදුවෙයි.

වාර්ෂිකව ලෝකයේ දූෂිත ගණුදෙනු නිසා සිදුවන පාඩුව ඩොලර් ට්‍රිලියන එකක් පමණ වේ යැයි ගණනය කර ඇත. එයින් ඩොලර් බිලියන 20ත් 40ත් අතර ප්‍රමාණයක් අහිමි වන්නේ සංවර්ධනය වෙමින් පවතින දුප්පත් අප වැනි රටවලටය. කිසිම දේශපාලන සොරෙක් තනිව ක්‍රියා කරන්නේ නැත. ඔවුන් සමගම සිටින, කුමන දෙයක් කලත් ඔවුන්ගේ ගුණ වර්ණනා කරමින් සිටින පිරිස් ඔබ දැක ඇත. මේ අය අතර ගණකාධිකාරීවරුන්, ව්‍යපාරිකයන්, උපදේශකයින්, ආචාර්යවරුන්, හෝ නොයෙක් ආකාරයේ වෘත්තිකයන් සිටි. මේ සොරුන්ගේ මුදල් සහ කීර්ති නාමයන් විශුද්ධිකරණය කිරීමට සහ එම අපිරිසිදු මුදල් නීත්‍යානුකූල ප්‍රවාහය තුළට ගෙන එමෙහිලා නීති රාමුවන් තුළ අනිසි බලපෑම් හෝ කටයුතු කිරීමට උදව් කරති. මෙම දොරටු පාලකයින්ගේ හෝ මග සරසන්නන්ගේ (Enablers) ජවසම්පන්න සහාය නොමැතිව, දේශපාලක සොරුන්ට තම ධනය බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට ගෙන යා නොහැකි වනු ඇත. ඔවුන්ට අවශ්‍ය ෂෙල් සමාගම් හා නීතිමය උපදෙස් දෙන්නේ ඔවුන්ය. ඔවුන්ගේ මූලික ආයෝජනයක් වන්නේ බටහිර රටවල දේපළ මිළදී ගැනීමයි. 2021 ගෝලීය මුල්‍ය අවංකභාවය (Globle Financial Integrity-GFI) පිලිබඳ වාර්තාවට අනුව, සෑම වසරකම ඩොලර් බිලියන 2.3 කට වඩා වැඩි විශුද්ධිකරණය කරන ලද මුදල් දේපල වෙලඳපොල හරහා ගලා යන අතර, සියයට 80 ක් විදේශ මූලාශ්‍ර වන රටවල් 26කට වඩා පැතිර ඇති බව කියවේ. GFI වාර්තාවට අනුව 2015 – 2020 අතර මුදල් විශුද්ධිකරණයේ සිද්ධීන් 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවල් වල නිශ්චල දේපල මිලදී ගැනීම සදහා වන අතර, එක්සත් ජනපදය එම සොරුන්ගේ දේපළ මිලදී ගැනීමේදී වඩාත් ප්‍රියතම ස්ථානයක් වී ඇත්තේ නිශ්චල දේපල වෘත්තිකයන්ට මුදල් විශුද්ධිකරණයට අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූල වීමට අවශ්‍ය නොවන එකම G7 රට ලෙස එක්සත් ජනපදය පවතීන නිසාය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ක්ලෙප්ටොක්‍රසියේ ඍණාත්මක බලපෑම අවතක්සේරු කළ නොහැක. ක්ලෙප්ටොක්‍රැට්වරුන් විසින් ක්‍රමානුකූලව රාජ්‍ය මුදල් කොල්ලකමින්, අධිකරණය, පුවත්පත් සහ සිවිල් සමාජ සංවිධාන වැනි ස්වාධින ආයතනවලට සහ ඒවාට සහයෝගය දක්වන සංවිධානවලට භාවිතා කළ හැකි සම්පත් හිඟ කරමින් එම සංවිධාන වලපල්ලට යවයි. එපමණක් නොව, ක්ලෙප්ටොක්‍රැට්වරු බොහෝ විට තම අයථා ලෙස උපයාගත් ධනය දූෂිත දේශපාලනඥයන් මිලදී ගැනීමට, මහජන මතය හැසිරවීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්ට වල කැපීමට භාවිතා කරති.

ක්ලේප්ටෝක්‍රසිකරණයට ශ්‍රී ලංකාවට සමාන ලෝකයේ උදාහරණ

1965 දී පිලිපීනයේ බලයට පත් වූ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් 1986දී මහජන අරගලයකින් බලයෙන් පහ කරනු ලැබුහ. ඒ අවුරුදු 20ක අඳුරු කලපරිච්චේදයක අවසානය සනිටුහන් කරමිනි. 1969 දී නැවත බලයට පත් වූ ජනාධිපති ෆර්ඩිනන්ඩ් ඊ. මාකෝස් ඔහුට දිගටම ධූරයේ සිටීමට 1971දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ උත්සාහයට ශිෂ්‍ය රැඩිකල්කරණය සහ ප්‍රචණ්ඩ පෙලපාලි සංඛ්‍යාව වැඩි වීමත් සමඟ, 1081 ප්‍රකාශය මගින් 1972 සැප්තැම්බර් 23 දින යුද නීතිය පැනවීම සිදු කරනු ලැබිය. ඒකාධිපති ස්වරුපයෙන් කටයුතු කරනු ලැබූ මාකෝස් සියලු පාලන බලතල භාර ගැනීමට ඉදිරියට ගොස්, සිවිල් උසාවි බැහැර කර, 1935 ව්‍යවස්ථාව ඉවත් කොට ක්‍රමානුකූලව 1973 ව්‍යවස්ථාව ඔහුගේ අරමුණු සඳහා ප්‍රතිස්ථාපනය කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ජන්දය ඉතා වංචා සහගත අයුරින් සිදු වූ අතර, මාකෝස් විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස අවුරුදු 15 දක්වා අඩු කරන ලැබුහ. ඡන්දදායකයින් බිය ගැන්වීම සඳහා හමුදා භටයන් ස්ථානගත කරනු ලැබූ අතර බොහෝ පුරවැසියන් ජන්දයට සහභාගී නොවූවත් පුරවැසියන්ගෙන් සියයට 90ක් ජනමත විචාරණයට ඡන්දය ලබා දී ඇති බව ප්‍රතිඵල මගින් පෙන්නුම් කරනු ලැබිය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් බිය ගන්වා යුද නීතිය සහ නව ව්‍යවස්ථාව තහවුරු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට බල කිරීමට ජනාධිපති මාකෝස් සමත් විය. මීට පෙර, සෙනෙට් සභිකයින්, සිවිල් නිදහස් මතධාරීන්, මාධ්‍යවේදීන්, සිසුන් සහ කම්කරු නායකයින් ඇතුළු පුද්ගලයින් 8,000ක් පමණ හමුදා නීතිය ප්‍රකාශ කිරීම මත නිසි ක්‍රියා පටිපාටියකින් තොරව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්නා ලදී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හබයාස් කෝපස් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කිරීමත් සමඟ ඔවුන් ප්‍රකාශයේ ව්‍යවස්ථාපිතභාවය අභියෝගයට ලක් කළහ. යුද නීතිය අධිකරණයේ අධිකරණ බලයෙන් ඔබ්බට දේශපාලන ප්‍රශ්නයක් බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හබයාස් කෝපස් සඳහා වූ පෙත්සම් ප්‍රතික්ෂේප කළේය. තවද, 1935 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිස්ථාපනය කරමින් 1973 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ බලාත්මක සහ මුලික නීතිය ලෙස අධිකරණය විසින් දැනටමත් සලකනු ලැබ ඇත. මාකෝස් මාධ්‍ය නිදහස යටපත් කරන ලද අතර තම සීමාවන්ට අනුකූල නොවූ මාධ්‍යවේදීන් ශාරීරික තර්ජන, අපහාස නඩු හෝ බලහත්කාරයෙන් ඉල්ලා අස් කිරීමට කටයුතු කරනු ලැබුහ. මාර්කෝස්ගේ ගජ මිතුරු මාධ්‍යට එවැනි දැඩි වාරණ රෙගුලාසි වලංගු නොවූ අතර ඔවුන් දේශපාලන ප්‍රශ්න සම්පූර්ණයෙන්ම මගහරිමින් රටේ ආර්ථිකය පිළිබඳ පුම්බා පෙන්වනු ලැබුහ.

මාකෝස් පාලන සමයේ අවසාන වසරවල පිලිපීන ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ හැකිලී තිබුණි. ආර්ථිකයේ ප්‍රතිලාභ ජනගහනයේ ධනවත්ම අයට අසමාන ලෙස එකතු වූ අතර එමඟින් ධනවතුන් සහ දුප්පතුන් අතර විශාල විෂමතාවයක් ඇති විය. සීනි සහ පොල් වැනි කෘෂිකාර්මික වෙළඳපොළවල රජයේ මැදිහත්වීම, ගජමිතුරුභාවය සහ ඒකාධිකාරය නිසා එහි ලාභ කිසි විටෙකත් ජනතාව අතරට නොලැබිය. මෙම අවස්ථා වලදී, ප්‍රධාන රාජ්‍ය ආයතන කළමනාකරණය කරනු ලැබුවේ මාකෝස්ගේ සහචරයින් සහ ගජමිතුරන් විසින් වූ අතර, ඒවායේ මෙහෙයුම් කිසි විටෙකත් විගණනය නොකළේය.

මාර්කෝස් දැරිය නොහැකි තරම් විදේශීය ණය ලබා ගත් අතර මූලික අරමුණ ලෙස ප්‍රකාශිත වුයේ පිලිපීනයේ දේශීය ආයෝජන සහ පොදු යටිතල පහසුකම් ගොඩනැගීමයි. කෙසේ වෙතත්, මෙම ණය පුද්ගලික සමාගම් කිහිපයකට හරවා යවන ලද අතර, ඒවා සියල්ලම මාකෝස්ගේ ගජමිතුරන් යටතේ පැවතිනි. ඉතිරිය පිටරට බැංකුවලට හරවා යැවීය. ඩොලර් බිලියන 1.2 ක වියදමින් ඉදිකරන ලද නමුත් මාර්කෝස් පාලනය යටතේ කිසි විටෙකත් කිලෝවොට් එකක්වත් විදුලිය ජනනය නොකළ Bataan න්‍යෂ්ටික බලාගාරය මේ සඳහා කැපී පෙනෙන සාක්ෂියකි.

1973 දී, පිලිපීනයට න්‍යෂ්ටික බලාගාරයක් තිබිය යුතු බව මාකෝස් තීරණය කළේය. කෙසේ වෙතත්, එකල එවැනි න්‍යෂ්ටික බලාගාරය පිලිබඳ උත්සාහය ගැටළු සහගත එකක් විය. බලාගාරයෙන් ලුසොන් ජනගහනයෙන් සියයට 15 ක් සඳහා පමණක් විදුලිය නිපදවීමට පුරෝකථනය කරනු ලැබූ අතර, යෝජිත ස්ථානයේ සිට සැතපුම් 100 ක් ඇතුළත ක්රියාකාරී ගිනි කඳු හතරක් පිහිටා තිබුණි. තවද, පිලිපීනය එවකට දුප්පත්ම ජාතීන්ගෙන් එකක් වූ අතර නැගෙනහිර ආසියාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකරමින් සිටියේ ජපානය, තායිවානය සහ දකුණු කොරියාව පමණක් විය.

1986 පෙබරවාරි මස 25වන දින මහජන අරගලයකින් මාර්කෝස් බලයෙන් පහ කරනු ලැබූ අතර, ඔහු හවායි රාජ්‍ය වෙත පලා ගියහ. පිලිපීනයේ හිටපු ඒකාධිපති මාර්කොස්ට එරෙහිව නඩු පැවරු අතර එම කිසිඳු නඩුවකින් පිලිපීනයේ අධිකරණයක මාර්කෝස් සාපරාධී ලෙස වරදකරු වූ බවට කිසිදු වාර්තාවක් නොමැත.

රටවල් හතරක විවිධ උසාවි අවම වශයෙන් බිලියන 0.6 ක් වටිනා මාකෝස්ට අයත් දේපළ අයථා ලෙස උපයාගෙන ඇති බවට තීන්දු කර ඇත. 1986 පෙබරවාරි 25 වන දින පවුල මැනිලා නගරයෙන් පලා ගිය විට පිලිපීනයට මලකානාන්ග්හි මාර්කෝස් දිනපොත් සහ ලේඛන නැවත ලබා ගැනීමට හැකි වූ අතර එවැනි ලේඛන මගින් ස්විට්සර්ලන්තයේ රහස් බැංකු ගිණුම් පවතින බව හෙළි විය.

මාර්කෝස් සහ ඔහුගේ බිරිඳ සිය පළමු ස්විස් බැංකු ගිණුම් ව්‍යාජ අනන්‍යතාවයකින් විවෘත කොට ඇති අතර එම ගිණුමේ ශේෂය ඩොලර් 950,000 වී තිබිණි. ව්‍යාජ නම් වලින් විවෘත කර තිබු ගිණුම් 1970 වන විට වසා දමා ඇති අතර එහි ශේෂයන් Xandy පදනමට මාරු කළ බවත්, පසුව එය Fides Trust Co. වෙතත්, පසුව Avertina පදනමට මාරු කර ඇති බවත් හෙළි විය. මෙය මාර්කෝස් විසින් ස්විස් බැංකු පද්ධතියේ තැන්පත් කර ඇති ඔවුන්ගේ මුදල් සඳහා වසන් කිරීමක් ලෙස ස්ථාපිත කරන ලද විදේශීය පදනම් හෙවත් අක්වෙරළ සමාගම කිහිපයෙන් එකක් පමණි.

යහපාලන රජය පිළිබඳ ජනාධිපති කොමිසම විසින් මාර්කොස්ට, ඔහුගේ සමීපතම පවුල, ඥාතීන්, යටත් නිලධාරීන් සහ සමීපතමයන් විසින් එකතු කරන ලද සියලු අයථා ධනය රාජසන්තක කර ඇති අතර එහි වටිනාකම අවම වශයෙන් පිලිපීන පෙසෝ බිලියන 170 (ඩොලර් බිලියන 3.6 කට ආසන්න) කට අසන්න විය.

ස්විට්සර්ලන්ත බැංකුවේ සඟවා තිබූ රහස් මාකෝස් ගිණුමක් සාපරාධී සාක්ෂි ඇති බවට ස්විස් ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය එය පිලිපීන ජනරජයට මාරු කරන ලෙස නියෝග කළ අතර එහි වටිනාකම ඩොලර් මිලියන 627 ක් විය. 2014 දී සිංගප්පූරුවේ අභියාචනාධිකරණය මාර්කෝස්ට අයත් දේපලක තිබු ඩොලර් මිලියන 23ක් පිලිපීනයට ලබා දුන්හ.

1996 දී නිව් ජර්සි ශ්‍රේෂ්ඨාධිකරණය මාකෝස් විසින් හිමිකම් කියන ලද දේපළ දෙකක් පිලිපීන රජයට අයත් බව තීන්දු කළේ එය පිලිපීන භාණ්ඩාගාරයෙන් ලබාගත් මුදලින් මිලදී ගත් බවට ප්‍රබල සාක්ෂි ඇති බැවිනි. එහි වටිනාකම පිලිපීන පෙසෝ මිලියන 36ක් විය. 2003 ජූලි 15 දින, පිලිපීනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්කෝස්ට අයත් වත්කම් බිලියන 25කට වඩා වැඩි ප්‍රමාණයක් අයථා ලෙස උපයාගත් ධනය ලෙස සලකන බවට තීන්දු කළේය. මෙය විවිධ ස්විස් බැංකු ගිණුම්වල තබා ඇති මෙම වත්කම් භාරකාරත්වය සම්බන්ධයෙන් පිලිපීන රජය සහ මාකෝස් පවුල අතර දශක දෙකකට ආසන්න නීතිමය අරගලයකින් පසුවය. නඩු විභාගය පුරාවටම, ඉමෙල්ඩා සහ ඇගේ දරුවන් එම තැන්පතුවල පැවැත්ම සහ ඒවායේ හිමිකාරිත්වය ඇත්ත වශයෙන්ම පිළිගෙන ඇත. එක් අවස්ථාවකදී, ඉමෙල්ඩා සහ ඇගේ දරුවන් රටේ ධනය රහසිගතව ස්විට්සර්ලන්තයේ තැන්පත් කිරීම ප්‍රතික්ෂේප කළ අතර, එවැනි වත්කම් නීත්‍යානුකූලව අත්පත් කර ගත් බව ප්‍රකාශ කළේය. 1966 සිට 1985 දක්වා මාර්කෝස් යුවලගේ එකම දන්නා නීත්‍යානුකූල ආදායම ඇමරිකානු ඩොලර් 305,000ක් පමණ විය.

ඉමෙල්ඩා මාර්කෝස්ගේ කුප්‍රකට සපත්තු එකතුව යුගල 3,000කට ආසන්න ප්‍රමාණයක් යුවලගේ අසීමිත ධනවත්කමේ වඩාත්ම කුප්‍රකට සංකේතය ලෙස පවතී. ඇය ක්‍රිස්ටියන් ඩයර් සහ ගුසී වැනි සුඛෝපභෝගී යුරෝපීය සන්නාමවලට ප්‍රිය කළ නමුත් සෑම සතියකම දේශීයව සාදන ලද සපත්තු 10 ක ස්ථාවර ඇණවුමක් ද විය.

ලොව පුරා රහස් බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති හෝ ඉහළ මට්ටමේ දේපළ වෙළඳාම්, ස්වර්ණාභරණ, කලා කෘති සහ කොටස් සඳහා වියදම් කර ඇති මුදල ඩොලර් බිලියන ගණනක් වේ. පිලිපීන මහජනතාව ඔවුන්ගේ කොල්ලයේ විශාලත්වය සැබවින්ම වටහා ගත්තේ මාකෝස් පාලනයේ බිඳවැටීමෙන් පසුවය. මාකෝස් පවුල ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවට අරමුදල් සැපයීම සඳහා රටේ භාණ්ඩාගාරයෙන් හා සම්පත්වලින් ඩොලර් බිලියන 13.5 ක් අහිමි විය. කිසිම රජයක් හෝ කර්මාන්තයක් ඔවුන්ගේ කෑදරකමෙන් මිදීමට අපොහොසත් වී ඇත. ආඥාදායකයා සහ ඔහුගේ ගජ මිතුරන් විදේශ ආධාරවල සිට ලෝක බැංකු ණය දක්වා සියල්ල කොල්ලකා ඇති බවත්, ප්‍රධාන සමාගම් සම්පූර්ණයෙන්ම පවරා දීමට බල කරමින් සහ ලාභදායී රජයේ කොන්ත්‍රාත්තු සඳහා අල්ලස් ලබා ගත් බවත් සොයා ගන්නා ලදී.

නමුත් මහජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය පිලිබඳ කදිමට පිළිබිඹු වන කරුණක් වනුයේ මාර්කෝස්ගේ පුත් 65 හැවිරිදි බොන්බොන් මාර්කෝස් 17 වන ජනාධිපතිවරයා ලෙස පසු ගිය වසරේ ජුනි මස 30වන දින පිලිපීනයේ මහජනතාව පත් කර ගැනීමය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Website Powered by WordPress.com.

ඉහළ ↑