හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීම හෙවත් උසාවිය නිහඩයි.

ඊයේ සිට තිරගත වීමට තිබු ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂනය කල “උසාවිය නිහඩයි” චිත්‍රපටිය මා බොහෝ බලපොරත්තුවෙන් නැරබීමට සිටි චිත්‍රපටියකි. නමුත් ඊයේ එයට කොළඹ මහේස්ත්‍රාත්වරයා තහනම් නියෝගයක් නිකුත් කළේය.

ප්‍රසන්න විතානගේ යනු ශ්‍රී ලංකාවේ සිටින අග්‍රගන්‍ය සිනමා අධ්‍යක්ෂකවරයෙකි. ඔහුගේ නිර්මාණයක් වන ආකාස කුසුම් චිත්‍රපටිය සදහා මාලනී ෆොන්සේකා, ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොදම නිලියට හිමි සම්මානය,හොදම ආසියානු චිත්‍රපටිය සදහා වන සම්මානයත්, හොදම චිත්‍රපටිය සදහා වන සාර්ක් සම්මානයත් සහ තවත් සම්මාන රාශියක් සදහා නම් කරනු ලැබූ චිත්‍රපටියකි. අනෙකුත් සිංහල චිත්‍රපට හා සසදන කල ප්‍රසන්න ඇත්තේ බොහෝ දුරින් ය. අසෝක හදාගම ආදී අධ්‍යක්ෂකවරුන්  හැර අනෙක් බොහොමයක් චිත්‍රපට වලට අප සිනසෙනුයේ චිත්‍රපටිය නැරබිමෙන් නොව අධ්‍යෂ්කවරයාගේ නම ඇසිමෙන්ය.

උසාවිය නිහඩයි චිත්‍රපටයට පසුබිම් වී ඇත්තේ 1997 අගෝස්තු මසදී රිවිර අනාවරණය කල පරිදි (මගේ මතකය නිවැරදි නම් ) සැකකරුවෙකුගේ බිරිද තමාගේ නිල කාමරයේදී දුෂණයට ලක් කිරීම සදහා චෝදනා ලැබූ මහව හිටපු දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක යැයි කියවේ. ඊට පසු දිනද අවස්ථාවකදී තුවක්කුවක් පෙන්වා වාහනයක දමාගෙන ගොස් දුෂණය කල බව අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් පත් කරනු ලැබූ පරීක්ෂණ කොමිසම මගින් පරීක්ෂණයේදී අනාවරණය කරනු ලැබිය.

එහිදී චෝදනා ලැබූ මහේස්ත්‍රාත්වරයාට විරුද්ධව පැවති එකම චෝදනාව මෙය නොවේ. ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු වශයෙන් සේවය කරමින් සිටියදී වංචාසහගත චෝදනා හයකට වැරදි කරු වී සේවයෙන් ඉවත් කල පුද්ගලයෙකි. එය අධිකරණ සේවා කොමිසමට වසන් කිරීමම අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට තරම් වරදකි. වංචාවකට සහබාගි වීම ගැන කවර කතාද ?

අධිකරණ සේවා කොමිසමේ කාර්යක්ෂමතාවය කෙසේදයත් අධිකරණ සේවයට විනිශ්‍යකාරවරයෙකු පත් කිරීමට ප්‍රථම ඔහු පිළිබද සොයා බැලීමටවත් වෙහෙසී ඇති බවක් නොපෙනේ. ඒ කෙසේ වුවද කාන්තාවන් දෙදෙනකු දුෂණය කිරීමට පරීක්ෂණ කොමිසමේදී වැරදිකරු කරනු ලැබූ රත්නායකට  අධිකරණයේ නඩු පැවරීමක් කිරීමට හෝ අදාල කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටු කිරීමට හෝ නොහැකි විය. අදාල කාන්තාවගේ නීතිඥයන් විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට හා ශ්‍රේෂ්ටාධිකරණයට පැමිණිලි කිරීමෙන් මාස 23කට පසුව පත් කරනු ලැබූ පරීක්ෂණ කමිටුවෙන් ද වැරදි කරු වූ රත්නායකට දඩුවම් ලබා දීමට නොහැකි වීමට හේතුව වශයෙන් රාවය කතෘ වික්ටර් අයිවන්ගේ නොනිමි අරගල නමැති පොතේ පෙන්වා දෙන පරිදි එවකට නීතිපතිවරයා ව සිටි සරත් සිල්වා ගේ ක්‍රියා කලාපය හේතු උන බව විස්තර කරයි.

ලංකා අධිකරණ ඉතිහාසයේ බිහිවූ දුෂිතම අග්‍රවිනිශ්‍යකාරයකු වූ ඔහු දුන් තීන්දු සම්බන්දයෙන් ප්‍රසිද්දියේම මහජනතාවගෙන් සමාව ඉල්ලු වාරද නැතුව නොවේ. තමුන්ගේ ලාබ ප්‍රයෝජන හා යාලු මිත්‍රකම් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම අධිකරණයේ පරමාධිපත්‍යට කල නිගාවකි.

නමුත් කණගාටුව කරුණක් නම් පරීක්ෂණ සභා මගින් වැරදි කරුවන් කෙරු ඇතැමුන් තවමත් ශ්‍රේෂ්ටාධිකරණයේ විනිසුරන් ලෙස අදද තනතුරු හෙබවිමයි.

Powered by WordPress.com.

ඉහළ ↑