
විශේෂ පුහුණුවක් හෝ විශේෂ නිපුණතාවයක් අවශ්‍ය ඕනෑම ආකාරයක කාර්යයක් “වෘත්තීය” ලෙස අර්ථ දැක්විය හැකිය. පුහුණු සහ දක්ෂ පුද්ගලයින් සමඟ සම්බන්ධ වී ඇති සියලුම ගුණාංගවල එකතුවක් වෘත්තීයභාවය ලෙස පිලිගනී. වෘත්තීකයන් යනු ඵලදායී බව, කුසලතාව, සංවිධානය සහ වගකීම යන සියලු ගුණාංගවලින් සමන්විත දක්ෂ පුද්ගලයින් ලෙස අර්ථකථනය කල හැකිය.
ශ්‍රී ලංකාවේ වෘත්තිකයින් ගත් කල ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබද බරපතල ගැටළු පවතී. දියුණු රටවල වෘත්තිකයින් ඔවුන්ගේ වගකීම් පිළිබද වග වන අතර ශ්‍රී ලංකාවේ බොහෝ වෘත්තිකයින්ට ඒ පිලිබදව ගානක් වත් නැත. ඔවුන් නීතිමය ගැලවිච්චාව තුළ සිටින අතර ඉන් ඔබ්බට සමාජ සුභසාධනය හෝ වෘත්තියේ අභිවෘද්ධිය උදෙසා බොහෝ විට කටයුතු නොකරති. ඔවුන් අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව බොහෝ විට උද්දච්ච, මාන්නාධික පුද්ගලයින් වනු බොහෝ විට මා දැක ඇත.
වෘත්තීකයන් හට තිබිය යුතු පිළිගත් වෘත්තීය ප්‍රමිතීන්/චර්යාධර්ම කිහිපයකි. වගවීම, රහස්‍යභාවය, අවංකකම, නීතිගරුක බව,
පක්ෂපාතීත්වය, ස්වාධීනත්වය, විනිවිදභාවය හා සෘජු බව ඉන් අතරින් කිහිපයකි. ශ්‍රී ලංකාවේ මේ සියලු ගුණාංග ඇති වෘත්තීකයෙක් ඔබට නම් කල හැකිද? ඔබට ඒ පිලිබදව ලෙහෙසියෙන් සිතා ගැනීමට හෝ මතක් කර ගැනීමට නොහැකිවනු ඇත. නමුත් ඔබෙන් ශ්‍රී ලංකාවේ මේ සියලු ගුණාංග නැති වෘත්තීකයෙක් ඇසුවහොත් ඔබට නම් එකක් දෙකක් හෝ කියා ගැනීමට අපහසු නොවනු ඇත. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ හිටපු මහා බැංකු අධිපතිවරයාගේ ස්වාධීනත්වය පිලිබදව බරපතල ගැටළු පවතී. වගවීම, රහස්‍යභාවය, අවංකකම, නීතිගරුක බව, පක්ෂපාතීත්වය, ස්වාධීනත්වය, විනිවිදභාවය හා සෘජු බව ගැන අපි කතා නොකර සිටිමු.
ශ්‍රී ලංකාවේ අමාත්‍යංශවලට පත්වන බොහොමයක් අමාත්‍යවරු නුගත්ය. නොඑසේනම් ලබා ගත් සුදුසුකම් නිත්‍යානුකූල නොවන ආකාරයට ලබගත්තවුන්ය. ඔවුන්ට නීතියට හසු නොවන ආකාරයට සොරකම කියා දෙන්නේ බොහෝ විට අමාත්‍යංශවලට පත් කෙරෙන ලේකම්වරුන් විසින් වේ. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මේ බැරෑරුම් අර්බුධවලට දේශපාලකයන් පමණක් වගකිව යුතු නොවේ. ඒ ඒ අමාත්‍යංශවලට සමගාමී වෘත්තිකයන්ද ඒ හා සමාන වගකීමක් දැරිය යුතුය. හිටපු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර අධිකරණය මගින් කිසිම රාජ්‍ය සේවයේ තනතුරකට පත් නොකළ යුතුයැයි නිර්දේශ කොට තිබියදී ඔහුටම එම ලේඛම්ධූරය ලබා දීමට තරම් අමාත්‍යංශ ලේඛම්වරුන්ගේ හිඟයක් ශ්‍රී ලංකාවේ තිබේදැයි ඔබ සිතන්නේද?
මෙරට වෘත්තිකයින් අති බහුතරයක් තීරණ ගනු ලබන්නේ තමුන්ගේ අනාගත/වෘත්තීය අභිවෘද්දිය, මුල්‍ය ප්‍රතිලාභ හෝ වෘත්තීය පැවැත්ම උදෙසාය. ඉතාමත් සුළු පිරිසක් තමුන්ගේ පුද්ගලික ප්‍රතිපත්ති හෝ නීතිමය රෙගුලාසි මත පිහිටා කටයුතු කරනු ලබන අතර ඔවුන් පිරිසක් වශයෙන් ගත් කල ඉතාමත් අල්පය. ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් විනිසුරුවරයෙකු වන මාර්ක් ෆනාන්දු මහතා ඒ අතර සිටි පුද්ගලයෙකි. ඔහු තම වෘත්තීය අභිවෘද්ධිය උදෙසා තම තීන්දු තීරණ වෙනස් නොකළහ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද බොහෝ වෘත්තිකයන් සේවය කරති. ඔවුන් බොහොමයක් තම තීන්දු තීරණ ගනු ලබන්නේ තමා ඉතා මහන්සි වී ලබා ගත් වෘත්තීය සුදුසුකම් මත නොව කේලාම් හෝ ආරංචි මත පදනම්ව බව ඔබ දැක ඇතුවාට සැක නැත. කේලාම් මත තීරණ ගන්නාට ස්වාධීනත්වයක් නැත. ස්වාධීනත්වයක් නැති තැන ඔහුට අවංකභාවයක්ද නැත. අවංකභාවයක් නැති තැන ඔහුට ස්වාධීනත්වයක් ද නැත. ස්වාධීනත්වය හා අවංකභාවය එකිනෙකට පරායත්ත විචල්‍යන් දෙකක් ලෙස මම දකිමි. අවංකභාවය නැතිවීම සදහා මුල්‍ය ප්‍රතිලාභ පමණක් හේතු නොවේ. කේලාම් ද වෘත්තිකයෙකුගේ අවංකභාවය හා ස්වාධීනත්වය නැතිවීම කෙරෙහි බලපායි.
මා දන්නා එක්තරා ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙකු වේ. ඔහු ආර්ථික විද්‍යා සිද්දාන්ත උපයෝගී කර ගනිමින් පසු ගිය 2015-2019 රජය සමයේ ඉතා දැඩි විවේචන එල්ල කරමින් සිටියහ. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේඥයකු වන ඔහු ඉදිරිපත් කල ඇතැම් විවේචන සාධාරණ වුවද බොහෝ විවේචන මවන ලද බිල්ලෙකු බඳු විය. රාජපක්ෂ රෙජීමයේ ආර්ථික පාලනය පිලිබදව ඉතා ප්‍රසංසා මුඛයෙන් කතා කල ඔහුට සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආර්ථික දැක්මවත් නොතිබිණ. ඇත්තේම්ම ඔහුට නිවැරදි දැක්මක් තිබුනද ඔහු එම නිවැරදි දැක්ම ජනමත නොකළහ. එමගින් ඔහු රාජපක්ෂ රෙජීමය ඔසවා තැබූ අතර 2019 අවසානයේදී ඔවුන් බලයට පත්වූ වුහ. 2020 වසර වන විට එකී මහාචාර්යවරයා එක්තරා ආයතනයක අධ්‍යක්ෂධුරයට පත්වූ අතර මෑතකදි ඔහු එක්තරා විශ්වවිද්‍යාලයක උප කුලපතිධුරයට ද පත් වුහ.
එකී මහාචාර්යවරයා ශ්‍රී ලාංකීය වෘත්තිකයන්ගේ කැඩපත බඳුය. තම පුද්ගලික ලාභ අභිලාෂයන්, තම පුද්ගලික වෘත්තීය දියුණුව මිසක, වෘත්තියේ ගරුත්වය හෝ අභිමානය පිලිබදව ප්‍රතිපත්තියක් නැති න්‍යාය, සිද්දාන්ත වලින් මොළ පිරි ඇති හිස් මිනිසුන්ය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න