ඉන්දීය කොවිඩ් පාලනයේ අසාර්ථකත්වය හා ශ්‍රී ලංකාව

ගුජරාට් ප්‍රාන්තයේ, කෙවාඩියා ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහලක් නැත. නමුත් මෝදී රජය, 2018 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 422ක් දරමින් හිටපු ඉන්දීය නියෝජ්‍ය අගමැතිවරයෙකු වන සර්දාර් පටෙල්ගේ ප්‍රතිමාවක් එම ප්‍රදේශයේ ඉදි කරනු ලැබුවේ ලෝකයේ උසම ප්‍රතිමාව ලෙසය. ලෝකයේ දෙවෙනි විශාලතම ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ සෞඛ්‍ය පද්ධතිය සදහා වෙන් කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% පමණි. අද වන විට ගුජරාට් ප්‍රාන්තයේ මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 670,000කට ආසන්න වෙමින් පවතී. 8200කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. මේ වන විට ඉන්දියාවේ ජනගහනයෙන් ලක්ෂ 220කට ආසන්න පිරිසක් ආසාදිතයින් බව වාර්තා වී ඇත. ලක්ෂ 37 තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති. 247,000කට ආසන්න පිරිසක් මිය ගොස් ඇත. එම මිය ගොස් ඇති සංඛ්‍යාව වාර්තා ගත ප්‍රමාණයට වඩා වැඩි බව පැවසෙන අතර නිවසේ සිටියදී මිය ගොස් ඇති සංඛ්‍යා එම වාර්තා අතරට ඇතුලත් නැත. මෘත දේහයන් ආදාහනය කිරීමට අවශ්‍ය දර හිඟයක් පවතින අතර නගරයේ පවතින ගස් කපා ගැනීමට විශේෂ අවසරයක් ලබා දීමට සිදුව තිබේ. උද්‍යාන සහ රථගාල් මිනි පුළුස්සන ස්ථාන බවට පත් කර තිබේ.

එකමුතුකමේ ප්‍රතිමාව පිටුපසින්

1950 උපන් නරේන්ද්‍ර මෝදී ගුජරාට් ප්‍රාන්තයේ මහා ඇමතිවරයා ලෙස දේශපාලනයට පිවිසෙන්නේ 2001 වසරේදී, “නෙලුම් මල” මැතිවරණ ලකුණ කරගත් භාරතීය ජනතා පක්ෂයෙනි. එතැන් පටන් කිසිදු මැතිවරණයකින් පරාජය නොවූ ඔහු පිට පිට තුන් වරක් ගුජරාට් ප්‍රාන්තයේ මහා ඇමතිවරයා ලෙස පත් විය. ගුජරාට් ප්‍රාන්තය හින්දු ආගමිකයින් බහුතරයක් වෙසෙන අතර එහි අනුපාතය 88.5%ක් සහ මුස්ලිම් ආගමිකයින් 9.6%කි. හින්දු අන්තවාදී අදහස් පෝෂණය කරමින් 2001දී මහා ඇමතිදුරයට පත් වූ මෝදී, එම පත් වීමෙන් ටික දිනකට පසු ගුජරාට් ප්‍රාන්තයේ සිදු වූ “ගුජරාට් සංහාරය” ට ඍජුවම වග කිව යුතු පුද්ගලයෙකු යැයි කියවේ. එම සංහාරය නිසා 2000කට වැඩි පිරිසකට ජිවිත අහිමු වූ අතර එයින් බහුතරයක් මුස්ලිම් ජාතිකයින් විය. දේපල රැසකට අලාභ හානි වූ අතර 150,000කට පමණ උන් හිටි තැන් අහිමි විය. එම සංහාරයට දායක වූ පුද්ගලයන්ගෙන් දඬුවම් ලැබුවන්ට වඩා නොලැබුවන් බොහෝය. දේශපාලන බලපෑම් නිසා පොලිසියත් ඊට මැදිහත් නොවී නරඹන්නන් වූ අතර එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය මෝදීට එම රටවලට පැමිණීමට විසා ලබා නොදීමට තීරණය කරනු ලැබිය.(පසුව එම තහනම 2014 දී ඉවත් කර ගන්නා ලදී.) එම සංහාරයෙන් ටික දිනකට පසු, නියමිත දිනට මාස 8කට කලින් මෝදී මැතිවරණයක් කැදවු අතර එයින් වැඩි ආසන 71කින් ඔහු ජයග්‍රහණය කරනු ලැබිය. පසුව පැවති නඩු විභාග වලින් මෝදී නිදොස් කොට නිදහස් විණි. සමස්ත ඉන්දියානු ජනගහනයෙන් 80% හින්දු ආගමිකයින් වන අතර 2019දී පැවති මැතිවරණයෙන් සිය දෙවෙනි ධූර කාලය සදහා හින්දු බහුතර ජන්දයෙන් ඉහලින්ම ජය ගැනීමටද ඔහුට හැකි විය.

ඉන්දියාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයන් වන අනිල් අම්බානි, ගෞතම් අදානි ඇතුළු ව්‍යාපාරිකයන් පිරිසක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී වටා එක් රැස් වී සිටි. මෝදීට විශාල චෝදනා රැසක් එල්ල වෙමින් පවතී. රජයේ ආයතන මිලියන ගණනක් පාඩු ලබමින් සිටිද්දී පවතින ව්‍යපෘති සියල්ල පුද්ගලික සමාගම් වෙත ලබා දීම ඉන් එකකි. මෝදී විදේශ සංචාර 55කටම සහභාගී වී ඇත්තේ අම්බානි හෝ අදානි සමග හෝ දෙදෙනාම සමග වන අතර, ආරක්ෂක ව්‍යපෘති ගිවිසුම් 18ක් ඔවුන් සමග අත්සන් කර ඇති බවටද චෝදනා එල්ල වේ. ඒ අතර ඉන්දීය රුපියල් කෝටි 30,000ක ගුවන් යානා මිලදී ගැනීම, ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක වටිනාකමකින් යුත් ගුවන් ආරක්ෂක පද්ධතියක් සවි කිරීමේ ගනුදෙනුව, ඉන්දීය රුපියල් කෝටි 65,000ක ගුවන් යානා නාශක මිසයිල ගනුදෙනුව ආදී ගනුදෙනු රැසක් පවතී. රජයේ ඉඩම් ව්‍යාපාරිකයන්ට අඩු මුදලකට විකිණීම සම්බන්ධ අක්‍රමිකතාවක් ද විගණකාධිපතිවරයාගේ වාර්තාවක පෙන්වා දී තිබේ. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා වර්තමාන පන්ජාබ් ප්‍රාන්තයේ කොංග්‍රස් නායක නවුජෝට් සිං සිදු දිනක් අගනා ප්‍රකාශයක් පුවත් පත් සාකච්චාවකදී සදහන් කර තිබිණ. ඒ ” නරේන්ද්‍ර මෝදී අගමැති ද නැතිනම් අම්භානි හෝ අදානි ගේ ව්‍යාපාර සංවර්ධන කළමණාකරුද”? ( Is Modi a PM or business development manager of Ambani, Adani?)

වම් පස සිට පිලිවෙලින් අම්බානි, ආදානි, සහ මෝදී

මෝදී පසු ගිය ජනවාරි මස වන විට, ඉන්දියාව කොරෝනා වයිරසය ඵලදායී ලෙස පාලනය කිරීමෙන් ලෝකය, සමස්ත මනුෂ්‍යවර්ගයාම, විශාල ඛේදවාචකයකින් බේරාගෙන ඇත’යැයි පවසමින් වහසි බස් දෙඩුහ. ඉන්දීය රජයේ ප්‍රබලයන් කෝවිඩ් උවදුර හොදින් පාලනය කරන ලද දක්ෂ, සංවේදී, කැපවූ හා දූරදර්ශී නායකත්වයක් ලෙස මෝදී පුම්බා තැබුහ. කෝවිඩ් උවදුර පසෙකට දමා ප්‍රාන්ත මැතිවරණ රැළි පවත්වමින් ඔවුන් ප්‍රකාශ කර සිටියේ ‘අප සිටින්නේ කෝවිඩ් මර්ධනයේ අවසන් අවස්ථාවේ’ බවයි. “කුම්භ මේලා” උත්සවය බාදාවකින් තොරව පැවැත්වීම සදහා මුලින්ම රජයේ සහාය ඔවුන්ට ලැබුණු අතර උත්තරාකන්ද් ප්‍රාන්තයේ මහ ඇමති ටිරත් සිං රාවට්, අගමැතිවරයා සහ ඔහුගේ ජයරුපයක් සමග පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත් කර තිබිණ. එම උත්සවය සදහා ලක්ෂ 30කට වැඩි ජනතාවක් සහභාගී වූ අතර මහා ඇමතිවරයා කියා සිටියේ “දෙවියන් කෙරෙහි ඇති ඇදහිල්ල, වෛරසයට ඇති බිය මැඩපවත්වනු ඇතැයි අපට විශ්වාසයි” යනුවෙනි. නමුත් එයට දින කිහිපයකට පසු එයට සහභාගී වූ පුජකයන් කිහිප දෙනෙකුටද වෛරසය වැළඳී තිබිණ.

කෝවිඩ් වෛරසයේ ඉන්දියානු ප්‍රභේදය ගැන පසු ගිය මාර්තු මාසය වන විට විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබිණි. නමුත් මෝදී රජය විසින් එය සැලකිල්ලට භාජනය කොට නැත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයද රජයට රට වසා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස උපදෙස් දී තිබේ. එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග විශේෂඥ්යෙකු වූ ඇන්තනි ෆවුසි ද රටෙන් ඉල්ලා සිටියේ පූර්ණ අගුළු දැමීමකට යන ලෙසයි. විපක්ෂ නායක රාහුල් ගාන්ධි ද එලෙසම ඉල්ලා තිබිණි. නමුත් මෝදී තදින්ම කියා සිටියේ කිසිම හේතුවක් මත රට වසන්නේ නැති බවයි. නමුත් එවැනි ක්‍රමවත් යාන්ත්‍රණයක් හෝ සැලැස්මක් ඔවුන්ට තිබුනේ නැත. රටට අවශ්‍ය තරමින් ඔක්සිජන් ඇති බවත් බොරු ප්‍රචාර කරන්නන්ට දඩුවම් කරන බවත් පවසමින් සෞඛ්‍ය ඇමතිවරයා විකාරයෙන් කෑ ගැසුවා හැරෙන්නට වෙන යමක් කිරීමට තරම් දැනීමක් හෝ බුද්ධියක් ඔවුන්ට නොතිබුනා විය හැක.

උපදෙස් සැලකිල්ලට ගෙන අවශ්‍ය සංචරණ සිමා යොදා වසංගතය මැඩලීමට අවශ්‍ය පියවර විද්‍යාත්මක පදනමක් මත පිහිටා ගත්තේ නම් නැතිවී ගිය ජිවිතවලින් කිහිපයක් හෝ බේරා ගැනීමට හැකිවීමට තිබිණ.

විද්වත් වෘර්තිකයන්ගේ උපදෙස් නොපිළිපැද, ව්‍යාපාරිකයන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමත්, ඔවුන්ගේ උවමනා එපාකම් ඉටු කිරීමටත්, එනයින් අයුතු ලාභ ලැබීමේ අදහසින් මිදී පුරවැසියාගේ සුභසෙත සදහා අන්ධ විශ්වාස පසෙකලා කටයුතු කලේ නම් “ඉන්දියාව” අද වන විට කෝවිඩ් අර්බූදය හමුවේ මෙයට වඩා යහපත් තැනෙක සිටිනවා විය හැක. ආර්ථිකය ගැන සිතීමට ජිවිත තිබිය යුතුය. ජිවිත නොමැති තැන ආර්ථිකයක් ද නොමැත.

දේශපාලන බල පිපාසය සන්සිදුවාගනු වස් මිනිස් රුධිරය පානය කලවුන්ට එම ජිවිත වල වටිනාකමක් නැත. ගුජරාත් සංහාරය ද එවැනි බල පිපාසාවකින් සැලසුම් කල ක්‍රියාවකි. නීතියෙන් දඩුවම් ලැබුනද නොලැබුනද ඒ පිටු පස සිටි බලවත්ම පුද්ගලයා ඔහු විය හැක. දේශපාලන උවමනා එපාකම් ඉටු කර ගැනීමට ජිවිත බිලි දුන් මිනිසුන්, විෂම ලෝභින්, සොරුන් හෝ ජාතිවාදීන් රටක ප්‍රධානත්වයට පත් වූ පසු එවැනි රටවල් නොයෙකුත් ව්‍යසන, පිඩාවන්ට ගොදුරු වන බව මම තරයේ විශ්වාස කරමි. මෙහිදී ශ්‍රී ලංකාව ගැන අමුතුවෙන් කීමට යමක් මට නැත.

One thought on “ඉන්දීය කොවිඩ් පාලනයේ අසාර්ථකත්වය හා ශ්‍රී ලංකාව

Add yours

Rathubanda වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: