
දේශපාලනය යනු වරදක් සෙවීම, එම වරද සෑම තැනකම ඇති බව පෙන්වීම, එය වැරදි ලෙස අර්ථකථනය කිරීම සහ වැරදි ප්‍රතිකර්ම යෙදීම බව ප්‍රකට ඇමෙරිකානු ප්‍රහසන ශිල්පියෙකු වූ ග්‍රවුචෝ මාක්ස් වරක් ප්‍රකාශ කර තිබේ. විසිවන ව්‍යවස්ථා සංශෝධනය හා සසදා බලන කල එය වර්තමානයට අපුර්ව ගැලපීමක් එක් කරයි. දහනම වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු බොහොමයක් තිබෙන බව අප පිලි ගත යුතු සත්‍යයකි. එය එසේ වුවද එය තුලින් ලබාගත් ස්වාධින කොමිෂන් සභා සහ විගණනකවරයා පත් කිරීම ඇතුළු සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ කිහිපයකි. සද්භාවයෙන් සිදු කලේ නම්, සිදු කල යුතුව තිබුනේ එහි අඩු පාඩු වලට පිළියම් කිරීම මිස එහි සාධනීය කරුණු ඉවත් කිරීම නොවේ.
ලෝකයේ දියුණු රටවල් සියල්ලක්ම පාහේ ප්‍රධාන විනිසුරුවරයා තෝරා ගැනීමේ විදිමත් හා පැහැදිලි ක්‍රමවේදයන් අනුගමනය කරයි. ඇමෙරිකා එක්සත් ජනපදය අගවිනිසුරුවරයා තෝරා ගැනීමේදී ජනාධිපතිවරයා විසින් සෙනෙට් මණ්ඩලයේ උපදෙස් සහ කැමැත්ත මත තෝරා පත් කර ගත යුතුය. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයේ මුල් ස්ථානයේ සිටින නොර්වේ රාජ්‍යය අගවිනිසුරුවයා පත් කර ගනු ලබන්නේ අධිකරණ පත් කිරීම් මණ්ඩලයේ උපදෙස් පරිදි නොර්වේ රාජ්‍යයේ රජු විසිනි. වරක් අධිකරණ පද්ධතියේ මුදුන්මල්කඩ වන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුධුරයට වාණිජ බැංකුවක සභාපතිවරයෙකු පත් කොට එම ස්ථානය අප්‍රසන්න තත්ත්වයට ගෙන ඒමේ ලා ප්‍රමුඛ වූ පිරිස්ම රටේ අභිවෘද්ධිය උදෙසායැයි, විසිවන සංශෝධනය මගින් එම පත් කිරීමේ අයිතිය නැවතත් ලබා ගැනීම එම ක්ෂේත්‍රයේ කිර්තිනාමය වැඩි දියුණු කිරීමට හේතුවක් නොවිය හැකිය. එනයින් ගත්කල එවැනි පිරිසක් විසින් අනාගතයේදී ගෙන එන්නට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද රටට හිතකර එකක් වනු ඇතැයි අනුමාන කල නොහැක.
ප්‍රජාතන්ත්‍රවාදී රටක තම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් විදිමින් සිටි නිරායුධ මිනිසෙකු හෙළිපිට ඝාතනය කිරීමේ අශිෂ්ඨත්වයට මරණිය දණ්ඩනය ලබා සිටි ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු වරප්‍රසාද සමග මන්ත්‍රීවරයෙකු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය අවංකව රකින බවට ප්‍රතිඥා දීම කොතරම් විහිළු සහගත තත්වයක්දැයි විවෘත මනසකින් බලන ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත. එහි වඩාත් සැලකිල්ලට භාජනය කල යුතු සිදුවීම වන්නේ එම තීරණය ලබා දුන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුද කොළඹ මහාධිකරණයේ පැවැත්වෙන අල්ලස් නඩුවක ප්‍රධාන චූදිතයෙකු වීමයි. එම අල්ලස් නඩුවේ චූදිතයෙකු වීම නිසා නඩු කටයුතු වලින් වසර දෙකකටත් වැඩි කාලයක් ඉවත් කර තිබු විනිසුරුවරයෙකු අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පසුගිය පෙබරවාරි මාසයේදී. ව්‍යවස්ථාදායක සභාවද තමන්ගේ වගකීම නිසියාකාරව ඉෂ්ට නොකර එම පත්වීම අනුමත කිරීම තුලින් පෙනී යන්නේ එම සභාවට පත්කෙරු පුද්ගලයන්ද, පත් කල පුද්ගලයන්ගේද පටු දේශපාලන හා පුද්ගලික අභිලාෂයන් එහි ස්වාධීනත්වයට බලපෑම් එල්ල කරන බවයි.
දීර්ඝකාලීන ජනවාර්ගික යුද්ධයක අත්දැකීම් ඇති අප, විවිධ ජාතික හා ජනවාර්ගික කණ්ඩායම් අතර ආතතීන් විසින් ඉරා දැමූ හෝ තියුණු ලෙස නිර්මාණය කර ගන්නා ලද දෘෂ්ටිවාදාත්මක බෙදීම් ඇති වපසරියක, දේශපාලකයා විසින් දේශපාලනික වශයෙන් මවා පා පෙන්වන ලද සිංහාසනයක අවශ්‍යතාවය උදෙසා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාලන බලය ලබා ගැනීම පිණිස රටේ ජනතාවගෙන් ලක්ෂ හැත්තෑවකට ආසන්න පිරිසක් කැමැත්ත ලබා දුන්හ. තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දෙමින් ඔවුන් වැඩි පිරිසක් රටේ දියුණුවද ප්‍රාර්ථනා කල බව නොරහසකි. ඔවුන්ගේ අරමුණ සාර්ථක වීමේ හෝ අසාර්ථක වීමේ යථාර්තය කෙසේ වුවද ඔවුන් මිටිමොලවා ගත් ඇතැම් බලාපොරොත්තු අහිංසක හා පිළිගත හැකි ඒවා විය. වර්තමානයේ සිදුවන පාරිසරික මංකොල්ලකෑම් හා දුෂණ, රටේ වර්තමාන සංවර්ධනය කෙරෙහි කෙසේ වුවද අනාගත පරපුරට ස්වභාදම් මාතාවගෙන් ලැබියයුතු සිහිලස හා ආශ්වාදය පිලිබදව බලවත් කුහුලක් බහුතර ජන්ද දායකයන්ට පමණක් නොව සමස්ත රට වැසියාටම නොදැනි සිටීමට හේතුවක් නැත.
ඉතිහාසයේ ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් තුල තිබු දේශපාලනික වැඩවසම් නායකත්වයන් බොහෝ විට රාජත්වයේ හෝ කුල සම්ප්‍රදායන් මත රදා පැවතින. බටහිර ආක්‍රමණවලින් පසු එම නායකත්වයන් ධනය හෝ ගොට්ට ඇල්ලීමේ ක්‍රම වේදයන් අතර හුවමාරු වීමේ හුරුවක් දක්කනට ලැබිණ. පසු කාලීනව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සමග බටහිර පන්නයේ ආයතන හා දේශපාලන මොඩලයන් උකහා ගනිමින්, එම ස්වරූපයන් අනුකරණය කර ඒවාට සමාන ලෙස තම පද්ධතීන් නිර්මාණය කර ගැනීමට දේශපාලකයා පෙළඹුනද එම බටහිර ආකෘතින් තුල ක්‍රියා කිරීමට අවශ්‍ය ශිෂ්ඨ සම්පන්න ගති ලක්ෂණ නිරායාසයෙන් නොතිබුණද, තම සිත් තුල තැම්පත් කොට ප්‍රයෝගිකව යොදවා ගැනීමට ලාංකීය දේශපාලකයා අපොහොසත් විය.
බටහිර දේශපාලන දර්ශණයන් සහ නීති පද්ධතීන් එහෙම්පිටින්ම ණයට ගත් ඔවුහු තම විධායක, ව්‍යවස්ථාදායක සහ ආයතනික ව්‍යුහයන් නිර්මාණය කල අතර ඒවා තමන්ගේ ආර්ථික අභිවෘධිය, නීතිමය මුක්තිය හෝ තම පක්ෂාපතින් පෝෂණය කිරීමට යොදා ගත්තා විනා එය පුරවැසියන්ට අර්ථයක් ඇති රටට වැඩදායක එකක් බවට පත් කිරීමට අසමර්ථ වන්නේ ඔවුන්ගේ සිත් තුල පැවති අශිෂ්ඨ මානව දුරාචාරික ගති ලක්ෂණ ඉස්මතු වීම නිසාවෙනි. අලුතින් නිර්මාණය කිරීමට යන ව්‍යවස්ථාවද පුරවැසියන්ට අර්ථයක් ගෙන එන, රටේ ඉදිරි ගමනට හේතු වන්නාවූ එකක් වනවාට වඩා තම දේශපාලන අභිමතාර්ථයන් ඉටු කර ගැනීමේ එකක් වීමට ඕනෑ තරම් හේතු සාධක තිබේ.
ඉදිරි දශකය තුල රාජ්‍ය පාලනය කෙරෙහි ජනතා අප්‍රසාදයට මුලික හේතු වන්නේ රාජ්‍ය අධිකාරියේ අණසක කොයිතරම් දුරට ස්වභාවික සම්පත් ව්‍යසනයන් කරා රැගෙන යන්නේද හා සුදුසු දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ මහජනයා බලාපොරොත්තුවෙන පොදු එකඟතාවයක් නොමැති වීම සහ නීතියේ ස්වාධීනත්වය බිද වැටීමයි. මහජනතාව පාලන තන්ත්‍රයේ නීත්‍යානුකූල භාවිතයන් පුළුල් ලෙස ප්‍රශ්න කරන විට රජයන් ඔවුන්ගේ අවිදිමත් හා දරුණු පාලන ක්‍රමවේද මුදා හරින තත්වයට පත්වේ. ලක්ෂ හැත්තෑවක ජන්ද පදනමකින් බලයට පත් පොදුජන පෙරමුනේ ආසන්න වශයෙන් ලක්ෂ විස්සක පමණ ජන්ද නිත්‍ය හා ස්ථිර ජන්ද නොවේ. තුනෙන් දෙකක මදයෙන් කටයුතු කිරීම නිසා එම ජන්ද පදනම ඉදිරියේදී දෙදරා යා හැකි බව ආණ්ඩුව තරයේ සිහි තබා ගෙන කටයුතු කල යුතුය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න