
සුනාමි රළට මුහුණ දුන් ඇතැමුන් එයට පිං රළ යැයි ද කියති. එයට හේතුවක් ඇත. ඒ ඇතැමුන්ගේ වත්කම් විනාශ වූ ප්‍රමාණයටත් වඩා ඔවුන්ට එක් රැස් කරගැනීමට හැකි වූ නිසාය. සුනාමි රළ පෙළට මුහුණ දීමට පෙර සිටිය තත්වයටත් වඩා ධනවත් වූ පුද්ගලයන් සිටි. ධනවත් වීමේ වරදක් නැත. වරද ධනවත් වීමේ ක්‍රමයයි.
සුනාමි ව්‍යසනය නිසා රටවල් 14ක මිනිසුන් 225,000 වැඩි පිරිසක් මිය ගියහ. අවතැන් වූ හා නැතිවූ දේපලවල වටිනාකම ගණනය කල නොහැකි තරම්ය. සුනාමි ඛේදවාචකයෙන් ශ්‍රී ලංකාවේ මිය ගිය ගණන 30,959ක් වන අතර පුද්ගලයන් 5,644ක් අතුරුදහන් වීය. නිවෙස් අහිමි වූ ජනතාව 516,150කි. මව සහ පියා දෙදෙනාම අහිමි වූ ළමයින් සංඛ්‍යාව 1,071කි. දරුවන් 3,954කට තම මව හෝ පියා අහිමි විය. (දත්ත- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය) සුනාමි ඛේදවාචකයට පසු ගිය වසරේ දෙසැම්බර් 26 වන දිනට වසර 15 සම්පුර්ණ වූ අතර තවමත් හදුනානොගත් මළ සිරුරු 500 කට අධික ප්‍රමාණයක් පවතී.
සුනාමි උදම් රළින් පසු එවකට මිනිසුන්ගේ ආකල්පවල හා හැසිරීමේ වෙනසක් සිදු විය. ජාති ආගම් බේදවලින් තොරව සැවොම එකා මෙන් අසරණ වූ ජනතාවට උදවු පදවු කිරීමටත්, මුදල් මෙන්ම අනිකුත් දෑ පරිත්‍යාග කිරීමටත් පෙළඹිය. මේ ව්‍යසනයට සාර්ථකව මුහුණ දී කෙසේ හෝ මේ රට දැන්වත් හරි මගට ගතයුතු බව බොහෝ දෙනාගේ ආකල්පය විය. නමුත් ඒ ආකල්පය වැඩි කල් යන්නට මත්තෙන් මිනිසුන්ගේ සිත්වලින් ඉවත් වුවා පමණක් නොව තිබු ධනාත්මක ආකල්ප පවා නැතිවූ ආකාරයක් දිස් විය. මිනිසුන්ට මුහුණ දීමට සිදු වූ ඒ බරපතල ඛේදවාචකයේ කම්පනය හමුවේ මිනිසුන්ගේ වෙනස් වූ ආකල්පද තාවකාලිකය. පවතින කොරෝනා වසංගතය හමුවේද තත්වය එසේමය. කවරකු හෝ සිතන්නේනම් මෙරටේ නිෂ්පාදනය වැඩි කොට වෙනත් රට වලින් යැපෙන මට්ටම අඩු කර ගැනීමට මේ ව්‍යසනය හමුවේ අප ක්‍රියා කල යුතුය යන්න හෝ සියලු ජාතින් එකමුතුව මින් අනතුරුව හෝ මේ රට ගොඩ නැගිය යුතු යැයි, එය අඥාන සිතුවිල්ලකි. එය කිසි දවසකත් සිදු නොවේ. පෙර සිදු වුවක් ද නොවේ. පවතින ක්‍රමය එය සිදු වීමට ඉඩ නොදෙයි. අප රටේ, මේ පද්ධතියේ, හැඩ ගැසීම එබදුය. එම පද්ධතිය සකස් කර ඇත්තේ යම් යම් පුද්ගලයන්ට, පක්ෂ වලට හෝ යම් ආයතනවලට අවශ්‍ය අන්දමටයි. අප දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් විසින් අප හසුරුවනු ලබයි.
සුනාමි ව්‍යසනය හමුවේ ඊට මුහුණ දුන් අනිකුත් රටවල් 14ට මෙන්ම ශ්‍රී ලංකාවටද ආධාර ලැබිණි. සුනාමි ව්‍යසනයෙන් පසු එක්සත් ජාතීන්ගේ සහන අරමුදලට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.25 එකතු කර ගැනීමට හැකි විය. එක්සත් රාජධානියේ හදිසි ආපදා කමිටුවට පැය 24ක් ඇතුලත පවුම් මිලියන 392 ක් මහජන ආධාර ලෙස රැස් කර ගැනීමට හැකිවූ අතර එය ගිනස් වාර්තාවක් ද විය. මෙයින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 650කට අධික මුදලක් ආධාර ලෙස ලැබිණි. ශ්‍රී ලංකාවෙන්ද ඊට ආධාර එක් රැස් විය. එවැනි ආධාර රුපියල් මිලියන 82ක් පුද්ගලික ගිණුමක තැන්පත් කර සාවද්‍ය පරිහරණය කලේ යැයි එවකට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට චෝදනා එල්ල විය. හිටපු ජනාධිපතිවරියගේ නියෝග පවා නොතකා හෙල්පින් හම්බන්තොට නමින් ගිණුමක් පවත්වාගෙන අරමුදල් රැස් කිරීමත් නීති විරෝධී විය. ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම නඩුව තාක්ෂණික දෝෂයක් යැයි පවසා එවකට අගවිනිසුරු සරත් එන් සිල්වා ඉවත් කල අතර සාධාරණ යුක්ති මුලධර්මයන්ද නොතකා නඩුව ගොනු කල පාර්ශවයටද වන්දි ගෙවීමට නියෝග කළේය. එම තීන්දුව සම්බන්ධයෙන් 2015 දී හිටපු අග විනිසුරුවරයා ජාතියෙන් සමාව ගත්තද එහි ප්‍රතිවිපාක රටක් ලෙස අප තවමත් විදිමින් සිටි.
මේ ලිපිය ලියන්නට අදහස් කලේ, ලෝකයම දැන් තවත් අර්බුදයකට මුහුණ දී සිටි. එම අර්බුදයේ ප්‍රතිවිපාක ඉතා කටුක විය හැක. වසර 72ක් තිස්සේ 3 වන ලෝකයේ රටක් ලෙස එහි ප්‍රතිපල අපට ඉතා දරුණු විය හැක. දැනටමත් ඇමෙරිකානු ඩොලර් එකක විනිමය අනුපාතය ඉතා සිඝ්‍රයෙන් ඉහල යමින් තිබේ. විදේශ රට වල රැකියා කරන්නන්ගෙන් ලැබෙන ප්‍රේෂණ අර්බුදයේ හමුවේ අඩු වී ඇත. ශ්‍රී ලංකා මහා බැංකුවට පිටරටවල රැකියා කරන්නන් හට තම මුදල් මාස 3කට වත් මෙරට තැන්පත් කරන ලෙස ඉල්ලීමක් කිරීමටද සිදු වී තිබේ. කොරෝන වසංගතය නිසා ලෝකයේ සෑම කොටස් වෙළදපලක්ම පාහේ කඩා වැටි ඇත. විදේශ ආයෝජකයන් පසු ගිය කාල සීමාව තුල මෙරට ආයෝජනය කර තිබු මුදල් ඉවත් කර ගෙන තිබිණ. ආනයන සිමා කොට ඇත. පසු ගියදා ශ්‍රී ලංකා මහා බැංකුව සතුව තිබු රත්‍රන් සංචිතයෙන් කොටසක් ද විකුණා දැමිනි. අර්බුදයේ තරම ඔබට සිතා ගත හැක.
කුමන අර්බුදයක් තිබුනද ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ ක්‍රියා කලාප වෙනස් වන්නේ නැත. මේ වසංගතයත් ඔවුන්ට පිං රැල්ළක් වන්නට බොහෝ ඉඩ ඇත.