කැනබීස් (Cannabis Sativa) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මරිජුවානා (ස්පාඥය භාෂාවෙන් ), ගංජා (බෙංගාල භාෂාවෙන්) , හෂීස් (අරාබි), ත්‍රයිලෝක විජයා පත්‍ර (සිංහල) පොසිල පරාග විශ්ලේෂණයට අනුව ටිබෙට් සානුවට ඉහලින් හට ගන්නට ඇති බව විශ්වාස කෙරේ. බොහෝ පුරාණ සංස්කෘතීන් මෙම ශාකය ඖශධයක් ලෙස බුද්ධ වර්ෂ 500 දී පමණ සිට භාවිතා කොට ඇත. ඖශධිය සහ මනෝ චිකිත්සක ශාකයක් ලෙස ප්‍රකට ගංජා ශාකය, හානිකර නොවන ඖශධයක් ලෙසද හැදින්වේ. එය පුරාණ චීනයේ නිර්වින්දකයක් ලෙස භාවිතා කොට ඇත. මෑතකදී විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් බටහිර චීනයේ සොහොන් ගැබකින් වසර 2500කට පෙර ගංජා භාවිතා කොට ඇති බවට සාක්ෂි සොයා ගනු ලැබිණි. ඓතිහාසික ශ්‍රී ලංකාවේ ගැමියන් මෙන්ම යුධකාමීන් ගංජා හා බිං කොහොඹ වැනි ඖශධ යොදා සකස් කර ගත් පානයක් තිබු බවත් ඔවුන් යුද්ධයේදී පැරැද වීම ඉතා අසීරු කරුණක් වූ බවත් එම කරුණු නිසා එවකට ඉංග්‍රීසින් එම ඖශධ දෙකම තහනම් කල බවත් කියැවේ.
මිනිස් ඉතිහාසයේ බොහෝමයක් සංස්කෘතීන් තුළ ගංජා භාවිතය නීත්‍යානුකූල වූ අතර එය 20 වන සියවසේ මුල් භාගයේදී පමණ වෙනස් වීමට පටන් ගත්හ. 1916 සිට 1931 දක්වා කාලය තුළ එක්සත් ජනපදයේ ප්‍රාන්ත 29 මරිජුවානා භාවිතය තහනම් කල අතර 1937 දී මරිජුවානා බදු පනත මගින් එක්සත් ජනපදය පුරා ගංජා නීතිවිරෝධී බවට පත් කල පසු එය වෙනත් රටවල්ද අනුගමය කිරීමට පටන් ගත්හ.
ඇලස්කාව, කැලිෆෝනියා, කොලරාඩෝ, ඔරිගන්, මේන්, මැසචුසෙට්ස්, නෙවාඩා, වොෂිංටන් සහ කොලොම්බියා දිස්ත්‍රික්කය යන ප්‍රාන්ත අටක මරිජුවානා විනෝදාත්මක ලෙස භාවිතා කිරීම දැන් නීත්‍යානුකූල කොට ඇත. 2018 වසරේ සිට කැනඩාව ද විනෝදාස්වාදය සදහා ගංජා භාවිතා කිරීම සහ අවසරලත් පුද්ගලයන්ට වගා කිරීම සදහා ද නීතිගත කරනු ලැබිය. මෙක්සිකෝව පුද්ගලික භාවිතය සදහා ග්‍රෑම් 5ක් ලග තබා ගැනීමට අවසර දී තිබෙන අතර, බෙලිස් රාජ්‍ය 2017 වසරේ ග්‍රෑම් 10ක්, කොලොන්බියාව ග්‍රෑම් 20ක් ආදී වශයෙන් නීතිමය අවසර ලබා දී තිබේ. ඊට අමතරව ජැමෙයිකාව, ඉක්වදෝරය, පේරු, උරුගුවේ, බෙල්ජියම්, නෙදලන්තය, පෘතුගාලය, ස්පාඥය, ස්විට්සර්ලන්තනය, ක්‍රොයේෂියාව, චෙක් ජනරජය, රුසියාව ග්‍රෑම් 6ක් දක්වා, යුක්රේනය හා නවසීලන්තය භාවිතය නීති ගත කොට ඇත.
ඊට අමතරව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ඉතාලිය, නීති ගත කිරීම පිලිබදව සාකච්චා කරමින් පවතී. ඖෂධමය ගංජා අපනයනය කරනු ලබන ලෝකයේ ප්‍රධාන රට බවට පත්වීමේ අභිලාෂයක් ඇති බව ඔස්ට්‍රේලියානු රජය පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබිණ. එවැනි සැලැස්මක් උරුගුවේ සහ ඊශ්‍රායලය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ග්‍රෑන්ඩ් වීව් රිසර්ච්’ නම් ඇමෙරිකානු පර්යේෂණ සමාගම ඇස්තමේන්තු කර ඇති පරිදි ඖෂධමය ගංජා අලෙවි කෙරෙන ජගත් වෙළෙඳපොල 2025 වසර වනවිට ඩොලර් කෝටි 5500 තරම් වනු ඇති බවට ඇස්තමේන්තුගත කොට ඇත.

2018 දී එක්සත් ජනපදයේ කංසා වගාව සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වී ඇති අතර, පසුගිය වසරට සාපේක්ෂව කංසා වගා කළ අක්කර ප්‍රමාණය තුන් ගුණයකින්, එනම් 28,713 සිට 78,176 දක්වා වැඩි වී තිබේ. ඉදිරි පස් වසර තුළ ලොව පුරා කංසා සඳහා වන වෙළඳපල දළ වශයෙන් 22.9% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය 2024 දී ඇමරිකානු ඩොලර් මිලියන 2780 ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එය 2019 දී ඇමරිකානු ඩොලර් මිලියන 990 ක් විය.

මරිජුවානා ශාකය දුම්පානය සඳහා පමණක් භාවිතා නොවේ. මොළයේ පිළිකා, පෙනහළු පිළිකා සහ පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී කැනබිනොයිඩ් වල ඵලදායීතාවය පෙන්නුම් කරන සාක්ෂි විශාල ප්‍රමාණයක් පවතින බව පර්යේෂකයෝ පවසති. කැනබිනොයිඩ් පිළිකා සෛලවල පැවැත්ම, වර්ධනය හා පැතිරීම මැඩපැවැත්වීම සදහා ද උපකාර කෙරෙන බව ද ඔවුහු පවසති. අපස්‌මාරය, ග්ලුකෝමා සිට රසායනික චිකිත්සාවේ අතුරු ආබාධ සියල්ල ලිහිල් කිරීමට මිනිසුන් ඖශධිය මරිජුවානා භාවිතා කෙරේ.

රෙදි පිළි නිෂ්පාදනය
එහි තන්තු, කඹ හෝ රෙදිපිළි බවට පත් කළ හැකිය. මේවා තත්වයෙන් උසස් ඇගලුම් නිෂ්පාදන වන අතර වඩා සුවපහසු හා ප්‍රතිබැක්ටීරියා ක්‍රියාකාරිත්වය සහිත රෙදි පිලි නිසා අධික මිළ ගණන් වලට අලෙවි කෙරේ. මෙම රෙදි පිළි සමට වඩාත් හිතකර වන අතර පාරජම්බෝල කිරණින් ද ආරක්ෂා කිරීමේ හැකියාවක් ඇත. වඩාත් ජනප්‍රිය කංසා සපත්තු යුගලවලින් එකක් වන්නේ 2016 දී නයික්ගේ(Nike) විශේෂ 4/20 නිකුතුවයි.
කපු, ජල පිපාසිත බෝගයක් වන අතර කංසා වගා කිරීමට කපු වලට සාපේක්ෂව වඩා අඩු ප්‍රමාණයක් ජලය අවශ්‍ය වේ. 2005 දී ස්ටොක්හෝම් පරිසර ආයතනය කපු, කංසා සහ පොලියෙස්ටර් පිළිබඳ පාරිසරික මාර්ග සහ ජල විශ්ලේෂණය නමින් අධ්‍යයනයක් සිදු කල අතර කෙඳි කිලෝග්‍රෑම් එකක් පමණක් නිපදවීමට කපු ගසට ජලය ලීටර් 10,000 ක් පමණ අවශ්‍ය බව ඔවුන් සොයා ගත්හ. කංසා වගා කිරීම සඳහා ජලය අවශ්‍ය වන්නේ එම ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් බවත්, ලබා ගත හැකි තන්තු කිලෝග්‍රෑම් එකකට අවශ්‍ය වන්නේ ජලය ලීටර් 2123 ක් බවත් සොයා ගෙන ඇත. ඊට අමතරව දැඩි පරිසර ප්‍රශ්නයක් ලෙස සැලකෙන රසායනික පොහොර භාවිතයෙන් 25% පමණ කපු වගාව සදහා යොදා ගැනෙන අතර ගංජා ශාකය සදහා එම රසායනික පොහොර භාවිතය අවශ්‍ය නොවේ. මන්දයත්, ගංජා ශාකය ස්වාභාවිකවම බොහෝ කෘමි උවදුරු සදහා ස්වයං ආරක්ෂාව සලසා ගනී. කංසා පැල සිහින් හා උසින් යුක්ත වන අතර උස අඩි 5-15 දක්වා වර්ධනය වේ. ඒවායේ සිහින් හැඩය හේතුවෙන් කපු වලට වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට මෙම ශාකවලට වඩා අඩු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ. කංසා අක්කරයක් සාමාන්‍යයෙන් කෙඳි රාත්තල් 1500 ක් පමණ නිපදවන අතර එකම ඉඩ ප්‍රමාණයක් තුල වගා කළ හැකි කපු ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ වේ. කංසා ද වේගයෙන් වර්ධනය වන අතර පස අඩුවීමකින් හෝ බෝගයේ අස්වැන්න අඩු නොකර අඛණ්ඩව වසර ගණනාවක් එකම භූමියක වගා කළ හැකිය.
රෙදිපිළි සෑදීම සඳහා භාවිතා කිරීම මෙන්ම කංසා වෙනත් බොහෝ භාවිතයන් ද ඇත. එහි බීජ අධික පෝෂ්‍යදායී වන අතර ප්‍රෝටීන් සහ ඔමේගා -3 මේද අම්ල වලින් පිරී ඇති අතර සත්ත්ව ආහාර වලින් තොර ආහාර වේලක් අනුගමනය කරන අයට විශේෂයෙන් උපකාරී වන ශාක පදනම් කරගත් කිරි සහ වෙනත් ආහාර නිෂ්පාදනය කිරීම සඳහා මෙය කදිම බෝගයක් බවට පත් වී ඇත.
කඩදාසි නිෂ්පාදනය
කංසා කඩදාසි යනු ගස් වලින් සාදන ලද සාම්ප්‍රදායික කඩදාසි සඳහා වටිනා විකල්පයක් වන අතර ලෝකයේ බොහෝ කඩදාසි අවශ්‍යතා සඳහා වඩාත් පුනර්ජනනීය ප්‍රභවයක් සැපයිය හැකිය. ලෝකයේ මුල්ම කඩදාසි අර්ධ වශයෙන් කංසා වලින් සාදන ලද අතර ශාකයක් ලෙස කංසා, කඩදාසි සඳහා වඩාත් සුදුසු වන්නේ එහි ඉහළ සෙලියුලෝස් හා අඩු ලිග්නින් අන්තර්ගතයක් ඇති බැවිනි. කංසා ගස්, සාම්ප්‍රදායික ගස් කඩදාසි වලට වඩා පරිසර හිතකාමී හා තිරසාර වන්නේ පයිනස් ගස්වලට වඩා වේගයෙන් වැවෙන බැවිනි. කංසා පළමුවෙන්ම චීනයේ කඩදාසි ලෙස භාවිතා කරන ලදී. පළමු හඳුනාගත් කංසා කඩදාසි පත්‍රය ක්‍රි.පූ 200-150 පමණ වූ බටහිර හැන් රාජවංශයට අයත් වේ. කඩදාසි සොයාගැනීමෙන් ඉක්බිතිව, වාර්තා තබා ගැනීම, සටහන් ගැනීම සහ පොත් මුද්‍රණය කිරීම අත්‍යවශ්‍ය බව චීන ජාතිකයින් වටහා ගත්හ. නැව්ගත කිරීමේදී පෝසිලේන් වැනි සියුම් භාණ්ඩ එතීමට කංසා කඩදාසි භාවිතා කළ හැකි බව සොයා ගැනීමට එතරම් කල් ගත නොවිය. එතැන් සිට කඩදාසි මැද පෙරදිගට පැතිර ගිය අතර, 700 දශකයේ චීනයේ හා මැද පෙරදිග ඉදිකරන ලද පළමු කඩදාසි කම්හල්, කංසා කඩදාසි නිපදවූ අතර, පළමුව මිනිස් හෝ සත්ව බලයෙන් ක්‍රියාත්මක වන මෝල් හරහා ද පසුව ජලයද භාවිතා කළේය. එතැන් සිට කංසා කඩදාසි ලොව පුරා භාවිතා විය. ගුටන්බර්ග් බයිබලය, තෝමස් පේන්ගේ පත්‍රිකා සහ මාක් ට්වේන්ගේ නවකතා සියල්ලම කංසා මත මුද්‍රණය කරන ලදී. රුසියාවේ පවා 1800 ගණන්වලදී “බැංකු නෝට්ටු, මුද්දර කඩදාසි, ණයවර බිල්පත්, තැපැල් මුද්දර, බැඳුම්කර, තොග සහ වෙනත් ජල සලකුණු කඩදාසි” මුද්‍රණය කිරීමට කංසා කඩදාසි භාවිතා කරන ලදී. එක්සත් ජනපදයේ නිදහස් ප්‍රකාශනයේ පළමු හා දෙවන කෙටුම්පත් 1776 ලන්දේසි, කංසා කඩදාසි මත ලියා ඇත. එක්සත් ජනපද නිදහස ලැබීමට පෙර පවා කංසා බ්‍රිතාන්‍යයට එරෙහි විප්ලවයේ තීරණාත්මක කොටසක් ලෙස සලකනු ලැබීය. යටත් විජිතවල කඩදාසි වල ප්‍රධාන ප්‍රභවය කංසා වන අතර විප්ලව අදහස් පැතිරවීමට උපකාරී වන පත්‍රිකා මුද්‍රණය කිරීමට භාවිතා කරන ලදී.

- කංසා අක්කර 1 කට අවුරුදු 20 ක චක්‍රයක් තුළ ගස් අක්කර 4-10 ක් තරම් ප්‍රමාණයක් නිපදවිය හැකිය.
- කංසා කදන් මාස 4 කින් වර්ධනය වන අතර ගස් අවුරුදු 20-80 අතර කාලයක් ගතවේ.
- කඩදාසි වල ප්‍රධාන සංඝටකය වන ලීයට වඩා කංසා වල සෙලියුලෝස් සාන්ද්‍රණය වැඩි ය. පයිනස් ගස් සෑදී ඇත්තේ සෙලියුලෝස් වලින් 30% ක් පමණක් වන අතර අනෙක් 70% ඉවත් කිරීමට විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම අවශ්‍ය වේ. කංසා වලට සෙලියුලෝස් අන්තර්ගතය 85% ක් පමණ තිබිය හැකිය.
- කංසා ලීයට වඩා අඩු ලිග්නින් අන්තර්ගතයක් ඇත. කංසා වල 5-24% ලිග්නින් අඩංගු වන අතර, ලී 20-35% වේ. මෙය වාසිදායක වන්නේ කඩදාසි ලෙස සැකසීමට පෙර ලිග්නින් පල්ප වලින් ඉවත් කළ යුතු බැවිනි.
- කංසා කඩදාසි ගස්වලට වඩා කල් පවතින අතර කංසා කඩදාසි, ගස් කඩදාසි මෙන් කහ, ඉරිතැලීම් හෝ පිරිහෙන්නේ නැත.

මෝටර් රථ නිෂ්පාදනයේ සිට ජෛව ඩීසල් ඉන්ධන, එතනෝල්, ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්ලාස්ටික්, බීර, රූපලාවන්‍ය නිෂ්පාදන, පෝෂ්‍යදායි ආහාර පමණක් නොව දැන් ලෝකයේ ප්‍රථම කංසා ගුවන් යානය නිපදවීමත් සිදු කෙරෙන අතර එහි සැම කොටසක්ම කංසා නිෂ්පාදන මගින් නිම කිරීමට ඔවුන් සැලසුම් සකස් කර තිබේ. එම ගුවන් යානය ජෛව ඉන්ධන (Hemp bio-fuel) බාවිතා කොට ධාවනය කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.

සාමාන්‍ය දුම් වැටී භාවිතයටත් වඩා කංසා භාවිතය අඩු හානිකර මත්ද්‍රව්‍යයක් ලෙස සැලකේ. කෙසේ වුවද මෙම ලිපියෙහි අරමුණ දුම් පානය සදහා ගංජා ප්‍රවර්ධනය කිරීම නොවන අතර වානිජ බෝගයක් ලෙස ලෝකයේ ඉදිරියට ඇතිවන ප්‍රවනතාවයන් පිලිබදව සාකච්ඡා කිරීම යි. නව යොවුන් වියේදී මරිජුවානා භාවිතා කරන අයට වැදගත් අවදානමක් වන්නේ IQ පහත වැටීමේ සම්භාවිතාව වැඩි වීමයි. මරිජුවානා වැඩිහිටි මොළයට බලපානවාට වඩා වෙනස්ව යෞවනයන්ගේ මොළයට බලපාන බව කියවේ. කෙසේ වෙතත්, මෙම බලපෑම් සෑම පරිශීලකයෙකුටම එක හා සමාන නොවිය හැකි අතර ඒවා ජාන විද්‍යාව වැනි තනි සාධක මත රඳා පැවතිය හැකි බව 2015 අගෝස්තු මාසයේදී JAMA Psychiatry සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයන දෙකකට අනුව පෙන්නුම් කරයි. පර්යේෂකයින් ගංජා භාවිතය මගින් මොලයට සිදුවන හිතකර සහ අහිතකර ප්‍රතිපල ගැන පර්යේෂණය කරමින් සිටි. ඉහත කරුණු හේතුවෙන් ගංජා පානය මෙම ලිපියෙන් ප්‍රවර්ධනය නොකෙරේ.
දැඩි හිරු රශ්මිය සහිත ශ්‍රී ලංකාව වාණිජ නිෂ්පාදනයක් ලෙස ගංජා වගාවෙන් ඉහල අපනයන අදායමක් ලබා ගත හැකි රටක් ලෙස සැලකිය හැකිය. බොහෝ බෝග වගාවන් සදහා ගැලපෙන මනා සාරවත් පසක් අප රට සතුව ඇත. ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවයන් සොයා ගෙන එනයින් අපට අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමට හැකියාව ඇතත් එවැනි ආර්ථික දැක්මක් ඇති නායකයින් ජාතියේ අවාසනාවට මෙතෙක් බිහිවී නොමැත.
අනිකුත් කංසා භාවිතයන් හා එහි නිෂ්පාදන පිලිබදව දෙවන ලිපියෙන් කියවමු.
ප්‍රතිචාරයක් ලබාදෙන්න