ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ දෙවෙනි අදියර..!!

630483-mahinda-sirisena

ශ්‍රී ලංකික දේශපාලනය කොතරම් අසුචි වලකට වැටි ඇත්දැයි වර්තමානය දෙස බලන විට ඔබට නොතේරිමට හේතුවක් නැත. පසු ගිය ඔක්තෝබර් මස 26 වන දින සිදු කරන ලද ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසු සිරිසේන ජනාධිපතිවරයා අසරණ තත්වයට පත් වූ අතර කුමන හෝ ආකාරයකින් නැවත බලයට පත් වන්නේ කෙසේ දැයි ඔහු සිතන්නට ඇත. ප්‍රහාරය පිළිබද බුද්ධි අංශ වාර්තා නොසලකා හැරියේ ඔහුගේ සිතැගි අනුව, පවතින ආණ්ඩුව තව දුරටත් මහජන අප්‍රසාදයට පත් කිරීමට හේතු වන බව සිතා විය හැකි ය. ජනාධිපතිවරයා පත් කරන ලද ඔහුගේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය අනුව මෙතරම් විශාල පිපිරීමක් බලාපොරොත්තු නොවූ බවට වූ චේතනාව තුල වචනයකින් ප්‍රකාශ කල නොහැකි කිසියම් අපුල දනවන හැගීමක් ජනිත වෙයි.

බෝම්බ ප්‍රහාරයකින් පසු එහි ගිනි දැල් නිකම්ම වා තලයට මුසු වනවා නොවේ. එහි ගිනි දැල් අතර පෝෂකයන්ගේ හා යැපෙන්නන්ගේත්, නළවන්නියන් හා නැළවෙන්නන්ගේත් ප්‍රාණයන් සහ සෝ සුසුම් රැදී පවතී. ප්‍රමාණය කුමක් වුවද එයින් වන්නේ අගතියකි. බලයට පවතින කෑදරකම හේතුවෙන් මිනිස් ජිවිතවල වටිනාකමට ලංසු තැබීම ත්‍රස්තවාදියා තරම්ම නීච තත්වයට පත් වීමකැයි මම සිතමි. එසේ නොවේ නම් තමන්ගේ වෘත්තිය නොසැලකිලිමත්භාවය මත මිනිස් ජිවිත 250කට වැඩි ගණනකට ජිවිත අහිමි කිරීමේ වගකීම වෙනත් අයට තම දබරැගිල්ල දිගු කිරීමට පෙර ජනාධිපතිවරයා භාර ගත යුතුව තිබුණි. තමන්ගේ යටතේ පවතින ආයතනවල තොරතුරු හා වාර්තා තමුන් නොදැන සිටියේය යන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය, එම ආයතන නිසි කළමනාකරණය නොකිරීමේන් සිදු වූ දෝෂයක් බව පැහැදිලිය. ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයා නොකැදවා, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී කරවා ගනිමින් ජනාධිපතිවරයා ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ දෙවෙනි අදියර ක්‍රියාත්මක කලේද යන්න ගැබුරුන් විමසිය යුතු ප්‍රශ්නයකි. රාජ්‍ය ආරක්ෂක කවුන්සිලයට පිටස්තර පුද්ගලයන් ගෙන්වා ගැනීමෙන් එහි රහස්‍යභාවය රැක ගත හැක්කේ කෙසේද ?

  • ආරක්ෂක ප්‍රධානීන්ට අරලිය ගහ මැදුරට නොයන ලෙසට උපදෙස් දුන්නෝ කවුරුන්ද?
  • එම උපදෙස් පිටු පස ඇති කුහක චේතනාව කුමක්ද ?
  • 16 වනදා සිට ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බැලීම සදහා කෙනෙකු පත් නොකර යෑමට හේතුව කුමක්ද?
  • එසේ පත් කර ගියේනම්, ඔහු එම බුද්ධි වාර්තාව ගැන දැන ගැනීමට ඇති ඉඩකඩ කවරේද?
  • මෙතෙක් කල් කිසිදු ජනාධිපතිවරයෙකු නැගෙනහිර පළාතට පත් නොකෙරු මුස්ලිම් ජාතිකයකු ආණ්ඩුකාරදුරයට පත් කලේ ඇයි?

මේ ප්‍රශ්න සදහා පිළිතුරු හෟද සාක්ෂියට අවංක ලෙස ලැබුනොත් ඒවා අප්‍රසන්න, පිළිකුල් සහගත පිලිතුරු අඩංගු වනවාට සැක නැත. කුහක හා පටු දේශපාලන බල කෑදරකම් හමුවේ 250 කට අධික පිරිසකගේ ජිවිත වළ දමා ඇත.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගනිමින් පසු ගිය නොවැම්බර් මස ගෙන ගිය කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලට ජනපතිට තිබු උනන්දුව මේ ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණයේදී තවමත් දක්නට නොමැත.

පවතින රජය පිලිබදව හෝ එහි ක්‍රියාකාරකම් පිලිබදව හෝ කිසිදු විශ්වාසයක් මහජනයා තුල නැත. අගමැතිවරයා පිළිබදවද එහි වෙනසක් නැත. අල්ප මාත්‍රයක් හෝ තිබී නම් එයද 21 වනදා ප්‍රහාරයෙන් පසු තිබේ යැයි විශ්වාස කල නොහැක. ප්‍රහාරයෙන් පසු ඇමතිවරුන්ගේ වචන, හැසිරීම හා ක්‍රියා කලාප කොතරම් සැහැල්ලු හා සැනසීම් සහගත ආකාරයට තිබුනේද? මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිද්දියේ සිට වනාතවිල්ලුව දක්වා වූ සිද්දි දාමය තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට වුයේ කුමක්ද? ඔවුන් දේශපාලන බලපෑම් මත නිදහස් විය. එතරම් පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයකුත් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් එසේ නිදහස් වෙයි නම් රටට කුමන ආරක්ෂාවක් ද ? ප්‍රහාරයෙන් පසුව වුවද එම බලපෑම් කල දේශපාලකයින් අත්අඩංගුවට ගත්තේ නැත. නමුත් බෝම්බකරු අත දමා නගින ත්‍රිවිල් රියැදුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට හැකියාව තිබෙන්නේ ඔහු ප්‍රබු පැලැන්තියට අයිති නොවන නිසා විය හැක. දිගාමඩුල්ල ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් පුද්ගලික ඉඩමක පුපුරන ද්‍රව්‍ය තිබී හමු වූ අතර එයට අත්අඩංගුවට ගත්තේ ඉඩමේ අයිතිකරු නොව ඔහුගේ රියදුරෙකි.

ප්‍රබල සමාජ තත්ත්ව හමුවේ නීතියේ නැමීම කොතරම් ද යන්න මෙයින් ඉතා පැහැදිලිය. රටේ වාතාවරණය අනුව මෙවැනි කාරනා එතරම් සුබ දායක නැත. නිවැරදි දේශපාලන නායකත්වයේ ගමන් මගක් අවශ්‍ය වන්නේ මෙහිදී ය. ආරක්ෂාවේ ප්‍රවීණයකු වන හිටපු යුධ හමුදාපතිවරයාට ආරක්ෂාව භාර දීමට ජනාධිපතිවරයා අකමැති වීමට හේතු වශයෙන් දක්වා තිබුනේ ඇතැම් රාජ්‍ය සේවකයන්, ඇතැම් පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු හා ඇතැම් භික්ෂුන් වහන්සේලා විරුද්ධ වීම නිසා යයි කියවේ. නමුත් සත්‍ය හේතුව එය නොවේ. සත්‍ය හේතුව වන්නේ රාජපක්ෂලා එයට විරුද්ධ වීමයි.

රටේ ව්‍යසනයක් පවතින වෙලාවක ගොඩ ගැසී ඇති මල සිරුරු උඩ නැග තම ජන්ද සලකුණ පෙන්වීමද ගෝටාභය රාජපක්ෂ සිදු නොකළ යුතුව තිබුණි. එයින් හැගෙන්නේ ඔහුටද බලය ලබා ගැනීමේ අවශ්‍යතාවය සදහා නොකළ හැක්කක් නොමැති බව නොවේද?

මහින්ද හා ගෝටාභය රාජපක්ෂ විසින් සකස් කරන ලද වාර්තාවක් පසු ගිය දිනවල ජනාධිපතිවරයාට භාර දෙනු ලැබිණ. කල දුටු කළ වල ඉහ ගැනීමටත් දේශපාලකයන් පෙලබෙන ආකාරයත් එයින් දැක ගත හැකි විය. එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වී ඇති එක් කරුණක් වන්නේ අපරාධ රැසක් කර අධිකරණය මගින් දඩුවම් දෙනු ලැබූ හිටපු හමුදා නිලදාරීන්ට සමාව දී බුද්ධි අංශ ශක්තිමත් කල යුතුය යන්න වේ. අපරාධ කර අධිකරණය දඩුවම් දෙනු ලැබූ අපරාධකරුවන් හැර මේ රටේ බුද්ධි අංශයේ වැඩ කල හැකි වෙන කිසිවකුත් නැද්ද? කිසි ලෙසකින් හෝ මේ අපරාධ වලට සම්බන්ධ වූ බුද්ධි අංශ නිලධාරීන් මිය ගියහොත් මේ රටේ බුද්ධි අංශ වළ පල්ලට ගොස් මේ රට අරාජික වෙයි ද? මේරටේ දැන් වර්තමානයේ සහ අනාගතයේ සිටින තරුණ පරපුර ඒ තරම් බේලහීන තත්ත්වයෙහිලා නොසැලකිය යුතුය. ඔවුන්ටත් අනාගතයේදී මේ වගකීම් වලින් කොටසක් භාර දිය යුතුය.

මෙම ලිපියේ සාරාංශයක් ලෙස, ජනාධිපතිවරයා සේනාධිනායකයා ලෙසත්, ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා ලෙසත් තම වගකීම පැහැර හැර ඇත. එයට නිදහසට කාරණා අවශ්‍ය නැත. තම පුද්ගලික හා දේශපාලන වෛරය වෙනුවෙන් මිනිස් ජිවිත බිල්ලට ගෙන ඇත..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Website Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: