නාවුක හමුදාපතිවරයාගේ කොට කලිසම් නිළ ඇදුම

පුජිත ජයසුන්දරට අනුව නම් පොලිසිය හිතුවක්කාරය. නමුත් අප අද කතා කරන්නට යන්නේ පුජිත ජයසුන්දරගේ “හිතුවක්කාර පොලීසය” ගැන නොවේ. නාවික හමුදාවේ “පති” ගැනය.
පුජිත ජයසුන්දර මාධ්‍ය ඉදිරියේ ඇද ගෙන නාගෙන වැඩි දවසක් ගියේ නැත. දැන් නාවික හමුදාපති නා ගනිමින් සිටි. ලංකාවේ “පති” ලා මාධ්‍ය ඉදිරියේම නා ගැනීමට ඇති කැමැත්ත මට  නම් ප්‍රහේලිකාවකි.

රටේ වැඩ වර්ජන හා උද්ඝෝෂණ පැවතිය යුතු ආකාරය ගැන අපට විවේචන ඇත. ඒ කෙසේ වෙතත් හම්බන්තොට වාරයේ නැව් ගමන් කරන්නේ අවුරුද්දකට ඇගිලි ගණනටත් වඩා අඩුවෙනි. ඒ නැවු වලටද ගමන් කිරීමට බාධා කරමින් වර්ජනයේ නියැලීම නිවැරදි නොවන බව අපගේ පිළිගැනීමයි. නමුත් නාවුක හමුදාපතිවරයාගේ හැසිරීම වර්ජනයේ නියැළුන මිනිසුන්ට වඩා පහත්ය. සිය වෘත්තීය තත්වයට නොගැලපෙයි. නාවුක හමුදාවේ  වෘත්තීයභාවය ඇසිල්ලකින් කුණු කුඩයකට ඇද දැමීමට හැකි හමුදාපතිවරයෙකු එම තත්ත්වයේ සිටිය යුතු නැත.

මෙවැනි උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට නාවික හමුදාපතිවරයාටම එම ස්ථානයට යාමට තිබු උවමනාව කුමක් ද ? නිරායුධ පිරිසක් ඉදිරියට නාවික හමුදාපතිවරයාට යන්නට තිබුන උවමනාව අවි ගත් ත්‍රස්ත පිරිසක් සිටියේ නම් එවිටත් පවතීද යන්න සැක සහිතය.

වෘත්තීය හික්මීමකින්, අවස්ථාවට උචිත බුද්ධියෙන් කටයුතු කල යුතු තැනදී කිපුණු ප්‍රමත්ත හැසිරීමකට හේතුව කුමක් ද ?

ජනමාධ්‍යවේදීන් ද හැසිරෙන ආකාරය පිලිබද විවේචන පවතී. ජනමාධ්‍ය ආයතන පිළිබදවද එය එසේමය. බලු කුණත් විකුණගෙන කා හැකි නම්, එයද කිරීමට නොපැකිලෙන ජනමාධ්‍යක්  පැවතීම එහි ගෞරවයට හේතු නොවේ.  නමුත් එය මර්ධනය මගින් පිටු දැකීම අපට අනුමත කල නොහැක.

එම වර්ජනවල දේශපාලන පසුබිම කුමක් වුවත් , තමුන්ගේ තනතුරට, හමුදාවේ ගරුත්වයට, හානි වන ආකාරයට තීන්දු තීරණ ගැනීමට කිසිවකුට අයිතියක් නැත. ඔහු නැති කර ගත්තේ තමුන්ගේ ගෞරවය පමණක් නොවේ. අනාගතයේදී එම තනතුරට පත් වන නිලධාරීන්ගේත් ගෞරවය යි.  මෙම ක්‍රියාව වෙනත් මැදි නිලධාරියකු කලේ නම් දැන් මෙහි පසුබිම කුමක් විය හැකිද?

නාවික හමුදාපතිවරයා තමුන්ගේ රටේ රට වැසියන්ට මෙසේ සලකනවානම්, අනෙක් නිලධාරීන් තමිල්නාඩුවේ සිට පැමිණෙන ධීවරයන්ට කෙසේ සලකනවා ඇද්දැයි, ඔවුන්ට තර්ක කිරීමට නුපුලුවන්ද ?

ආරක්ෂක ලේකම්වරයාද පවතින රූප රාමු පෙනී පෙනී පහරදීම ප්‍රතික්ෂේප කිරීම අදුරු රාජපක්ෂ යුගය නැවත මතක් කරවයි.

මහින්ද රාජපක්ෂ යුගයට අප නැවත යා යුතු නැත. කවුරුන් හෝ එම පහර දීම සාධාරණිකරණය කරනවානම් ඔහුද එම වගකීම දැරිය යුතුය.

3 thoughts on “නාවුක හමුදාපතිවරයාගේ කොට කලිසම් නිළ ඇදුම

Add yours

  1. ඔබ මෙ‍ම ලිපියෙන් අවධාරණය කරන කරුණු කීපයක් මම මෙසේ සංක්‍ෂිප්ත කරමි:

    1.ශ්‍රමිකයන්ට තම ශ්‍රමික හිමිකම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනය කිරීමට අනුල්ලංඝනීය හිමිකමක් ඇත (ඔබ ඒ බව පිළිගනී). එහෙත් ශ්‍රමිකයන් එම හිමිකම අපහරණය කිරීම නොනිසි ය.

    2.නාවික හමුදාපතිවරයා මෙම වැඩ වර්ජනය විසඳීමට මැදිහත් වීම නොනිසි ය. එලෙස ම ඔහු එහි දී හැසිරුණු ආකාරය ද ඔහුගේ ධුරයට නොනිසි ය.

    3.මාධ්‍යවේදීන් තම කාර්යභාරය ඉටු කරන ආකාරය පිළිබඳ ගැටලු ඇති මුත් මාධ්‍යවේදියකුට පහර දීම අනුමත කළ නොහැකි ය.

    ඔබගේ මූලික ප්‍රස්තුත තුන විසින් විමසනු ලබන පොදු ගැටලුවක් ඇත. එනම් සමකාලීන ලාංකීය සමාජයේ සාමාජීය මිනිසා තම කාර්යභාරය පිළිබඳ අතිභයානක නොදැනුම්වත්බවක වෙළි සිටින බව ය. මෙම නොදැනුම්වත්බව හුදු දැනුම නොමැති වීමක් පමණක් නො ව විනය පිළිබඳ ද ගැටලුවකි. ශික්‍ෂණය යනු දැනුම සහ විනයේ මුසුවකි.

    බලය භාවිත වන ධුර දරන පුද්ගලයන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ශික්‍ෂණයකින් යුක්ත විය යුතු ය. පැරණි හින්දි චිත්‍රපටවල මෙන් පොලිස් නිලධාරියා වැරදිකරුවන් ලෙස තමන්ට සිතෙන පුද්ගලයන්ට වෙඩි තබා වීරත්වයට පත් වන විගඩම් ශිෂ්ට සමාජය අනුමත කරන්නේ නැත. නාවික හමුදාපතිවරයාගේ හැසිරීමට වඩා යම් සාධනීය හැසිරීමක් එහි සිටි ඇතැම් අවශේෂ නිලධාරීන්ට තිබූ බව විඩියෝ දර්ශනවල දැක ගත හැකි විණ. ලන්ඩනයේ නාගරික පොලිස් නිලධාරීන් සමඟ වාදවලට පැටලෙන ඇතැම් තරුණයින් විසින් ඉතා දරුණු ලෙස එම පොලිස් නිලධාරීහු ප්‍රකෝප කරනු ලබති. එහෙත් තම ඉවසීම බිඳ ගෙන පොලිස් නිලධාරීන් විසින් කලහකාරී තරුණයන්ගේ දන්ත ධාතූන් වහන්සේලා උදර කුහරයට වඩම්මවනු ලැබීමක් නම් මා කෙදිනකවත් දැක නැත.

    සාමාජීය මිනිසා ශික්‍ෂණය කරනු ලැබීමේ දී සමස්ත සමාජය විසින් දරනු ලබන ආකල්ප ඉතා වැදගත් ය. නොනිසි හැසිරීම් සඳහා ලැබෙන මතවාදමය අනුබලය විසින් එම හැසිරීම් පෝෂණය කර ප්‍රවර්තනය කරනු ලැබේ. සමාජයේ මතවාදමය අනුබලය නොලබන හැසිරීම් ප්‍රවර්තනය වන්නේ නැත.

    වැඩ වර්ජනයට සහභාගී වූ ශ්‍රමිකයන්ගේ කිසි යම් කඩාකප්පල්කාරී අරමුණක් තිබෙන්නට හැකි ය. අගතියට පත් මාධ්‍යවේදියාගේ ද යම් දේශපාලන අරමුණක් තිබෙන්නට හැකි ය. ඒවා සංශයාත්මක අදහස් ය. එහෙත් නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියාට පහර දුන් බව නම් සංශයාත්මක අදහසක් නො ව සුනිශ්චිත කරුණකි.

    නොනිසි හැසිරීමක් පිළිබඳ සුනිශ්චිත කරුණු පවතින විට ද එම හැසිරීම සුපැහැදිලි ව හෙළා දැකීමට අද බොහෝ දෙනකු පසුබට වන බව පෙනේ. එය ඉතා නිෂේධනීය ආකල්පයකි. එමඟින් එම නොනිසි හැසිරීම අනියම් ලෙස අනුමත වීම පමණක් නො ව එවන් හැසිරීම් ප්‍රවර්ධනයක් ද සිදු වේ. සමාජය වෙනස් කරන්නට ව්‍යාවෘත පුද්ගලයන් ද දේශපාලන න්‍යායපත්‍ර මත පිහිටා නොනිසි චර්යා ප්‍රවර්ධනය කිරීම සාමාජීය ව්‍යසනයකි. නාවික හමුදාපතිවරයාගේ නොනිසි චර්යාව හෙළා දැකීමට පාලක පන්තිය පසුබට වීමටත් වඩා භයානක වන්නේ සිවිල් සමාජය එම නොනිසි චර්යාව පිළිබඳ දරන අවිනිශ්විත ආකල්පය යි. නොනිසි දෙය ඍජු ව සහ පැහැදිලි ව හඬ නඟා හෙළා දැකීමට නොහැකි සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයන්ගෙන් ඵලක් නැත. ඒවා අවසානයේ දී සේවය කරන්නේ ද පාලක පන්තියේ ප්‍රතිගාමීත්වයට ම ය.

    මා විසින් ඔබගේ සෘජු සහ පැහැදිලි අදහස් දැක්වීම අගය කෙරෙන්නේ පෙර පහදන ලද සමාජ පරිසරයක ය. සමකාලීන ලාංකීය සමාජයේ සාමාජීය මිනිසා ශික්‍ෂණය කරනු ගනු ලැබීමට එරෙහි ව පවතින ප්‍රබලතම බාධකය වන්නේ නරක මිනිසුන්ගේ නරක චර්යාවන් ම නො ව එම නොනිසි චර්යාවන් ඍජු ව හෝ වක්‍ර ව හෝ සාධාරණීකරණය කරනු ලබන හොඳ මිනිසුන්ගේ නොනිසි ආකල්ප ය.

    “කවුරුන් හෝ එම පහර දීම සාධාරණිකරණය කරනවානම් ඔහුද එම වගකීම දැරිය යුතුය.” යන ඔබගේ ඍජු ප්‍රකාශය මම මහත් සේ අගයමි. සිවිල් සමාජය ශක්තිමත් වන්නට ඔබගේ ලිපිය දායක වන්නේ එමඟින් සමාජ ආකල්ප පිරිපහදු වන නිසා ය.

    ඔබ ඔබගේ වියුණුවේ පළ වන ලිපි ෆේස්බුක් සහ ට්විටර් ඔස්සේ ද ජනගත කරන්නේ නම් ඔබගේ අදහස් තවත් පුළුල් පාඨක සමාජයකට ගෙන යන්නට හැකි ය.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    Liked by 1 person

    1. කුදලාගමයෙනි, ඔබ මේ ලිපිය මටත් වඩා හොදට විශ්ලේෂණය කර ඇත. ඔබ සතු දැනුම, ආකල්ප හා අත්දැකීම් ඔබ වචනයට නගා ඇති අයුරු අපුරුය. එම භාෂා ප්‍රවීනත්වය මට නැත. ඔබගේ අදහස් බොහෝ උනන්දුවෙන් කියවීමි.
      මෙහි මගේ මුලික අදහස කෙනෙක් නිළ බලය උපයෝගී කරගෙන තවත් පුද්ගලයෙක් තාඩනයට හෝ පිඩනයට පත් කිරීම අනුමත කල නොහැකි බවයි. දේශපාලන අරමුණක් මුලික කොට මාධ්‍යකරණයේ යෙදීමේ සදාචාරාත්මක අයිතිය කෙසේ උවද ඔහුට ඇති ප්‍රජාතන්ත්‍රවාදී හා මානව අයිතීන් අපට බැහැර කල නොහැක. ඔබ එය ප්‍රබුද්ධ අදහස් සමග වඩාත් විශ්ලේෂණය කොට ඇත. ඔබගේ වටිනා කාලයට මගේ ස්තුතිය… !

      මේ ලිපි සියල්ලක්ම මගේ ෆේස්බුක් සහ ට්විටර් හරහා බෙදා ගෙන ඇත.
      https://www.facebook.com/thereadus/

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Website Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: